සිලෝන් ටී, සිලෝන් රබර් යන වචනවලට ආදේශ වන වචනය සිලෝන් කලම්බු නොව සිලෝන් ගෝල් බව අභ්‍යන්තර, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවි මහත්වරු 1,500ක් වෙත කුරුඳු පැළ ප්රදානය කිරීමේ අවස්ථාවට යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ (21) එක් වෙමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“කුරුඳු සම්බන්ධ නිෂ්පාදන මධ්‍යස්ථානය හදන්න රුපියල් කෝටි හයහමාරක් වෙන් කරල තියෙනවා. මාස කිහිපයක් තුළදී එය සකසනවා. එය විශාල අරමුණක් ඇතිව ආරම්භ කරන්නේ. අද මෙතන කුරුඳු පැළ එක්ලක්ෂ හතළිස් දහසක් පමණ බෙදනවා. පැළයකට රුපියල් 13ක් වියදම් කරනවා. රුපියල් දාහත් ලක්ෂයක් රජය වියදම් කරනවා. මේ අරමුණ ඔබට ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීම.
යක්කලමුල්ලට තේවලට ඉතිහාසයත් තියෙනවා. කුරුඳුවලටත් ඉතිහාසයක් තියෙනවා. සිලෝන් ටී, සිලෝන් රබර් යන වචනවලට ආදේශ වන වචනෙ තමයි සිලෝන් කලම්බු නෙමෙයි, සිලෝන් ගෝල්. බලන්න මොනතරම් අවාසනාවන්ත ජාතියක්ද කියලා. ගාල්ල දිස්ත්‍රික්කය එහෙම දිස්ත්‍රික්කයක්. ඉස්සර රුවල් නැව්වලින් මිනිරන් ගෙනිච්චා, කුරුඳු ගෙනිච්චා. ගාල්ලෙන් තමයි බඩු පැටෙව්වේ. ඒ නිසා ලොකු ඉතිහාසයක් තිබෙනවා. අදටත් ඔබ මෙපමණ අපහසුවෙන් නිර්මාණය කරන කුරුඳු සඳහා වෙළඳ වටිනාකමක් ලැබී නැහැ. ඒ නිසා කුරුඳු කර්මාන්තය විශාල කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. එය ප්‍රධානම ගැටලුවක්. තේ කර්මාන්තයටත් ඒ ගැටලුව අද තියෙනවා. කුරුඳු කර්මාන්තයද ලෝක වෙළඳපොළ සමඟ තරඟකාරීත්වය ඇති වන විට ප්‍රශ්න ඇති වෙනවා.
සිනමන් තේ පානය කරන විට හෘද රෝග අඩු වෙනවා. හෘද රෝග සඳහා බෙහෙත් හදන විට කුරුඳුවල යම් යම් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගන්නවා. මෙහි මධ්‍යස්ථානය හදන විට කුරුඳු තේ දෙන්න පටන් ගන්න කියලා මම කිව්වා. සිලෝන් ගෝල් වටිනාකම නැති කර ගන්න එපා. ඉස්සර සිලෝන් ගැන කියන විට ගෝල් තමයි ඉස්සෙල්ලා කිව්වේ. පස්සේ තමයි අනිත් ඔක්කොම කිව්වේ. නමුත් අද කියවෙන්නේ නැත්තේ ගෝල්. ඇයි? ඔබ ගාල්ල හම්බන්තොටට උගස් තියපු නිසා. මම කරන්නේ ඒ එකිනෙක බේරලා ඔබට ලබාදෙනවා.
මේ රටේ ඉන්න අය කුරුඳු ටික පිටරට පටවනවා. ඔවුන් කුරුඳු තේ එහේ බොනවා. ඔබට නැහැ. ඔබ දන්නේ නැහැ. ඔබ කුරුඳු භාවිතා කරනවා නම් හෘද රෝග අඩු වෙයි. තේ, රබර්, කුරුඳු කර්මාන්තවල විශාල කඩාවැටීමක් තියෙනවා. එය නැවත ගොඩනගා, ආර්ථිකයට ශක්තියක් ඇති කිරීම තමයි මෙහි අරමුණ.” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.