උසාවියට අපහාස කිරීම හේතුවෙන් සිර දඬුවමක් නියම වී සිටි දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකබ් සූමා තමා විසින්ම පොලීසියට භාරවී තිබේ.
ඔහු අද (07දා) රාත්‍රීයේ ක්වාසුලු-නටාල් පළාතේ පිහිටි ඔහුගේ නිවස අසල පිහිටි පොලීසියක් වෙත භාරවී ඇති අතර, 79 හැවිරිදි වියේ පසුවන හිටපු නායකයා භාර නොවන්නේ නම්, ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසද උසාවිය නියෝග කර තිබුණි.
දූෂණ සිද්ධීන් සම්බන්ධ නඩු විභාගයකට සහභාගී වීමට අපොහොසත් වීම නිසා සූමාට පසුගිය සතියේ මාස 15ක සිර දඬුවමක් නියම කරනු ලැබුවේ, එරට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේය. මෙම නඩු විභාගය දකුණු අප්‍රිකාවේ පෙර නොවූවිරූ අවධානයක් දිනාගත් අතර, බදාදා මධ්‍යම රාත්‍රියට පෙර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසියට නියම කර තිබුණි.
හිටපු ජනාධිපතිවරයා පසුගිය ඉරිදා සිය භාරවීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අධිකරණය ඔහු අත්අඩංගුවට ගැනීමට මෙසේ කාල සීමාවක් නියම කළේය. ඒ අනුව, "සිරගත කිරීමේ නියෝගයට අනුකූලව කටයුතු කිරීමට ජනාධිපති සූමා තීරණය කර තිබෙනවා" යැයි හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය කෙටි ප්‍රකාශයකින් පැවසීය.
ඔහුගේ දියණිය වන දුඩු සූමා-සම්බුද්ලා පසුව ට්විටර් පණිවුඩයක් තබමින් කියා සිටියේ, තම පියා බන්ධනාගාරයට රැගෙන යන අතර, ඔහු එසේ වුවත් තවමත් උද්යෝගයෙන් සිටින බවයි.
දකුණු අප්‍රිකාව මීට පෙර හිටපු ජනාධිපතිවරයකු සිරගත කිරීමක් දැක නොතිබුණි. සිය බලයේ සිටි වසර නවය තුළ දූෂණ සිද්ධීන් පිළිබඳ නඩු විභාගයකදී සාක්ෂි ලබාදීම සඳහා වූ උපදෙස් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සූමාට ජුනි 29 වැනි දින මාස 15ක සිර දඬුවමක් නියම විය.
බලයේ සිටියදී සිදුකළ අයථා දූෂණ සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වුවද, තමා දේශපාලන කුමන්ත්රණයක ගොදුරක් බව සූමා නැවත නැවත පැවසීය. ඔහුගේම පක්ෂය වන අප්‍රිකානු ජාතික කොංග්‍රසය විසින් 2018 දී සූමා බලයෙන් නෙරපා හරිනු ලැබුවද, ඔහුට පක්ෂපාතී ආධාරකරුවන් පිරිසක් තවමත් සිටිති.