පසුගිය වසරේදී ඉහළ දැමූ පොලිස් නිලධාරීන්ගේ සංයුක්ත දීමනාව ලබා ගැනීම සඳහා අධිකරණයේ නඩු පැවරීම අනුමත කරමින් පොලිස් නිලධාරීන් හැටපන්දහසක් ලිපි එවා තිබෙන බව පොලිස් ඥාති සංසදය සඳහන් කරයි.
මීට අමතරව අධිකරණ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය රුපියල් ලක්ෂ දොළහකට අධික ප්‍රමාණයෙන් රුපියල් නවලක්ෂ දාහතරදහස් පන්සියයක් (914,500ක්) පොලිස් නිලධාරීන් විසින් මේ වනවිට ගිණුම්ගත කර තිබෙන බවත් එම සංසදයේ සභාපති වෙදගේ ප්‍රසාද් මහතා සඳහන් කළේය.
පොලිස් නිලධාරීන්ට පවතින ආර්ථික අපහසුතා සැලකිල්ලට ගනිමින් පසුගිය වසරේ අගෝස්තු මාසයේදී සංයුක්ත දීමනාව ඉහළ දැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණයක් ගත් බවත්, එහෙත් ආණ්ඩුව අදාළ මුදල ලබාදීමට කටයුතු නොකළ බවත් හෙතෙම පවසා සිටියේය.
ඉහළ දැමූ සංයුක්ත දීමනාව ලබා ගැනීමට පොලිස් ඥාති සංසදය බලධාරීන් සමග සාකච්ඡා කළ බවත්, අනතුරුව විරෝධතා ව්‍යාපාර හා පාගමන් පැවැත්වීමට කටයුතු කළ බවත් පැවසූ සභාපතිවරයා, එයට ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් මේ මස 07 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද ප්‍රකාශ කළේය.
එම පැමිණිල්ල ජූලි 03 වැනිදා විභාගයට ගැනීමට නියමිත බවත්, අදාළ නඩු කටයුත්ත වෙනුවෙන් නීතිඥවරුන් සඳහා රුපියල් ලක්ෂ 12කට ආසන්න මුදල් වැය වන බවත්, අදාළ මුදලින් නව ලක්ෂ දාහතර දහස් පන්සියයක් ඊයේ දිනය වනවිට පොලිස් නිලධාරීන් විසින් එකතු කර ගිණුම්ගත කර තිබෙන බවත් ඔහු පැවසීය.
මීට අමතරව අදාළ නඩු කටයුත්ත අනුමත කරමින් පොලිස් නිලධාරීන් හැටපන්දහසක් තම සංගමයට ඊමේල් පණිවිඩ හා ලිපි මගින් මේ වනවිට දන්වා තිබෙන බවත්, අදාළ සියලු මුදල් ලංකා බැංකුවේ පානදුර ශාඛාවේ අංක 84366755 ගිණුමේ තැන්පත් කර තිබෙන බවත්, මෙම ගිණුමට සුළු මුදලක් බැර කිරීම තුළින් නඩු කටයුත්තට පොලිස් නිලධාරීන්ගේ සහයෝගය ලබාදිය හැකි බවත් සභාපතිවරයා සඳහන් කළේය.