කෝවිඩ්-19 වසංගතය පාලනය සඳහා සෑම නිවසකටම දේශීය ආයුර්වේද ඖෂධ ලබාදීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 6000ක පිරිවැයක් අවශ්‍ය බවට ඇස්තමේන්තුගත කර තිබේ.
එහි පළමු අදියර වෙනුවෙන් පවුල් ලක්ෂ 25කට එම ආයුර්වේද ප්‍රතිශක්ති වර්ධක ඖෂධ ඇතුළත් මංජුසාව ලබාදීම සඳහා රුපියල් මිලියන 2500ක් සහ දෙවැනි අදියර යටතේ පවුල් ලක්ෂ 35ක් සඳහා එය ලබාදීමට රුපියල් මිලියන 3500ක් වැය වන බවද ගණන් බලා ඇත. එක් මංජුසාවක් සැකසීම සඳහා රුපියල් 1000ක පිරිවැයක් දැරීමට සිදුවන බවටද ගණන් බලා තිබේ. දැරීමට නියමිත මුළු පිරිවැය සඳහා සුවධරණි ප්‍රතිශක්ති වර්ධක පානය, ගුඩුව්යාදී කෂාය, ඖෂධීය ප්‍රතිශක්ති වර්ධක කැඳ ඇසුරුම් සඳහා වැයවන මුදලට අමතරව පත්‍රිකා ඇතුළත් කිරීම, ප්‍රවාහනය හා බෙදාහැරීම, පරිපාලන වියදම් මෙන්ම අවිනිශ්චිත වියදම් ලෙස රුපියල් මිලියන 276ක මුදලක්ද ඇතුළත් වේ.
මෙම ව්‍යාපෘතිය ආපදා තත්ත්වයක් යටතේ ක්‍රියාත්මක කරන බැවින් පිරිවැය දැරීමේදී සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව කෝවිඩ්-19 හදිසි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ යටතේ ලබාදී ඇති ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් ක්‍රියාත්මක කිරීමටද නියමිතය.
එමෙන්ම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය අංශයේ ධාරිතාව ප්‍රමාණවත් නොවන බැවින් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සහ පෞද්ගලික අංශයේ හවුල්කාරීත්වයද ලබාගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.