මීට තුන් වසරකට පෙරදී ඇඹිලිපිටිය නව නගරයේ නිවසක පැවති සාදයක් අතරට පොලීසිය කඩාවැදීමෙන් පසු මියගිය සුමිත් ප්රසන්න ජයවර්ධන නම් තරුණ එක්දරු පියාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට ඇති සෙසු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්රාත් ආර්.ජී.එන්.කේ.රන්කොත්ගේ මහත්මිය අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.
වර්ෂ 2016 ජනවාරි 04 දින රාත්රී ඇඹිලිපිටිය නව නගරය පාරේ මෙන්ඩිස් ගොඩනැගිල්ලේ නිවසක පැවති සාදයට කඩා වැදුණු පොලිස් නිලධාරීන් අතර සිටි එවක ඇඹිලිපිටිය පොලීසියේ සහකාර පොලිස් අධිකාරීවරයාව සිටි ඩි.ඩබ්.ධර්මරත්න මහතා විසින් සුමිත් ප්රසංග ජයවර්ධන (29) තරුණයා ඉහළ මාලයකින් පහලට තල්ලූකළ බවට සැකකරමින් මෙම නඩුව පැවැත්වෙයි. එම සිද්ධියෙන් දින තුනකට පසු රත්නපුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටිය දී සුමිත් ප්රසංග මිය ගියේය.
සැකකාර සහකාර පොලිස් අධිකාරීවරයා මෙදින අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.
මේ වනවිට සිද්ධියට වසර තුනක් ඉක්මවා ඇත. මෙම නඩුව ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්රාත් අධිකරණයේ දී අද (29) නැවත කැඳවූ අවස්ථාවේ මෙතෙක් නඩුව විභාග කළ අතිරේක මහේස්ත්රාත් ප්රසන්න ප්රනාන්දු මහතා ස්ථානමාරුවීම නිසා නව මහේස්ත්රාත්වරිය හමුවේ විභාග විය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි. එවක ඇඹිලිපිටිය පොලීසියේ සහකාර පොලිස් අධිකාරීවරයාව සිටි ඩි.ඩබ්.ධර්මරත්න මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයේ තබා වැඩ තහනමකට ද ලක්කරනු ලැබීය. මේ වනවිට ඔහු ඇපමත නිදහස්ව යළි සේවයේ පිහිටුවා සිටී.