ඉන්දියාවේ අද (01දා) සිට රටපුරා අගුලු දැමීම ලිහිල් කිරීමට රට සූදානම් වන බැවින් මුඛ ආවරණ භාවිත කිරීම සහ පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සඳහා කැපවන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දියානු ජනතාවගෙන් ඉල්ලා තිබේ.
මෝදි සිය මාසික ගුවන් විදුලි කතාව පවත්වමින් ඉන්දියාව කොවිඩ්-19 සමග මේ දක්වා සිදුකර ඇති ක්‍රියාමාර්ග පැසසුමට ලක්කර තිබේ. චීනයට පසු ලෝකයේ දෙවැනි වැඩිම ජනගහනය වෙසෙන රට ඉන්දියාවයි.
රට දුක් විඳීම විඳදරාගෙන ඇති නමුත් එය තවදුරටත් දරා ගැනීමට සියලු දෙනා අධිෂ්ඨාන කරගෙන සිටින බව මෝදි කියයි.
රාජ්‍ය නොවන සංවිධාන සහ ස්වේච්ඡා සංවිධාන ඇතුළු පුණ්‍ය කණ්ඩායම්වලට ප්‍රශංසා කරමින් ඔහු කියා සිටියේ විශේෂයෙන් අවශ්‍යතා ඇති අයට සේවය කිරීම කැපවීම ඉන්දියාවේ සාරධර්මවල කොටසක් බවත් විශේෂයෙන් වසංගතය මධ්‍යයේ රට මෙය ප්‍රදර්ශනය කර ඇති බවත්ය.
රට පුරා සිදුවන අගුලු දැමීම් මධ්‍යයේ රට මුහුණදී ඇති සංක්‍රමණික අර්බුදය පිළිබඳවද කතා කරමින් මෝදි කියා සිටියේ, වර්තමාන අර්බුදකාරී තත්ත්වය රටේ සෑම කොටසක් වෙතම ස්පර්ශ වූ බවයි. සංක්‍රමණිකයන්, දුප්පතුන් සහ කම්කරුවන් වඩාත් දරුණු ලෙස බලපෑමට ලක්ව ඇති බව ඔහු කියයි.
කොරෝනා වෛරස වසංගතයට එරෙහි ජයග්රහණයද නව සොයාගැනීම් මත රඳා පවතින බව අග්‍රාමාත්‍යවරයා පැවසීය. කොරෝනා වයිරසයට එරෙහිව ජයග්‍රහණය කරා යන මාර්ගය දිගු වන අතර මීට පෙර මෙවැනි දෙයක් ලෝකය අත්විඳ නැති බව මෝඩි වැඩිදුරටත් පැවසීය.
අම්ෆාන් සුළි කුණාටුව සහ පළඟැටි රංචු ඇතුළු ජාතියට බලපාන වෙනත් අර්බුදයන් ගැනද ඔහු සඳහන් කළ අතර, පීඩාවට පත් වූවන්ට හැකි සෑම ආධාරයක්ම පොරොන්දු විය.
ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සඳුදා සිට ඇරඹෙන වසා දැමීමේ සීමාවන් ඉවත් කිරීමේ අදියර තුනක සැලැස්මක් නිකුත් කර තිබේ.
කෙසේ වෙතත් මේ වනවිට ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 190,609ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 5,408කි. එරට වෛරසය ආසාදනය වූවන්ගෙන් 91,852ක් සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.