සමගි ජනබලවේගය සන්ධානයේ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම අද (02දා) උදෑසන 09ට නෙළුම් පොකුණ රඟහලේදී සිදු කිරීමට නියමිත අතර, ඒ සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් බව සමගි ජනබලවේගය සන්ධාන පාර්ශ්වය පවසයි.
ඒ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (02දා) දින මෙම උත්සවය පැවැත්වීමට නියමිත වෙලාවේ දීම පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවා ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳ ඊයේ (01දා) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ආශු මාරසිංහ මහතාගෙන් කළ විමසීමේදී හෙතෙම පවසා සිටියේ, එය මෙම සන්ධානයේ ගිවිසුම් අත්සන් කිරීමේ දින නියමවන්නට පෙර යොදාගත් රැස්වීමක් බැවින් අනිවාර්යයෙන්ම එය අද (02) පැවැත්වෙන බවයි.
එමෙන්ම ඉදිරි මැතිවරණය සඳහා අපේක්ෂකයන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණද මේ දිනවල පැවැත්වෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
%අලියා^ ලකුණින් හෝ %හංසයා^ ලකුණින් හැර සමගි ජනබලවේගය වෙනත් ලකුණකින් ඉදිරිපත්වීමට තීරණය කළහොත්, පක්ෂයක් ලෙස තීන්දුවක් ගෙන මෙම උත්සවය සඳහා සහභාගි නොවන බවද ආශු මාරසිංහ මහතා පැවසීය.
එවැනි අවස්ථාවකදී අලියා ලකුණින්ම මැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂය ලෙස %අලියා^ ලකුණ යටතේ මැතිවරණයට ඉදිරිපත් වන බවද හෙතෙම සඳහන් කර සිටියේය.
පසුගියදා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සමගි ජනබලවේගයේ ව්‍යවස්ථාවේ සංශෝධනය කළ යුතු යැයි යෝජනා කළ කාරණා, සංශෝධනය කර ඇත්ද යන්න කෙරෙහිද අවධානය යොමු කරන බවත්, ඔවුන් එම කාරණාවලට එකඟ වූ බවත් පවසා සිටි ආශු මාරසිංහ මහතා, ඒ අනුව සන්ධානයේ මධ්‍යම කාරක සභාවේ සංයුතිය 66%ක් (2/3ක බලයක්) එක්සත් ජාතික පක්ෂයට හිමිවිය යුතු බවත්, එමෙන්ම නාමයෝජනා අවසන් තීරණය එක්සත් ජාතික පක්ෂ නායකයාගේ අනුමැතියට යටත් විය යුතු බවට ඉදිරිපත් කළ යෝජනාවට එකඟ වූ බවත් සඳහන් කළේය.
මෙම ගැටලු විසඳාගත නොහැකි වුවහොත් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් සභා මන්ත්‍රීවරුන් පමණක් නොව ඕනෑම සාමාජිකයෙක් එක්සත් ජාතික පක්ෂය අනුමත නොකළ පක්ෂයක හෝ සන්ධානයක සමාජිකත්වය ගත හොත්, එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂයෙන් නෙරපා හැරීමට බලතල ඇති බවත්, පක්ෂ සාමාජිකත්වය අහිමි වන බවත් ඒ මහතා අවධාරණය කළේය.
එමෙන්ම අද (02දා) පෙරවරු 10.30ට එනම් ජාතික සමගි ජන බලවේගය සන්ධානයේ ගිවිසුම් අත්සන් කරන උත්සවය පැවැත්වෙන කාලයේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින්ද මාධ්‍ය හමුවක් කැඳවා තිබේ.