ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් , රුසියාවේ නිෂ්පාදිත " ස්පුට්නික් - V " එන්නතේ තවත් මාත්‍රා 15,000 ක් අද දින අලුයම ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා පැවසීය .
කිලෝ ග්‍රෑම් 178 ක බරකින් යුතු මෙම එන්නත් තොගය මුලින්ම රුසියාවේ මොස්කව් නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගුවන් මගින් ගෙනැවිත් තිබේ.
ඉන් අනතුරුව මෙම එන්නත් තොගය රැගෙන , එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 2528 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය , ඩුබායි සිට අද දින අලුයම 12.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම එන්නත් තොගය ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව ලෙස භාවිතා කිරීම සදහා මෙරටට එවා තිබේ .
රුසියාවේ මෙම ස්පුට්නික් එන්නතේ මාත්‍රා 150,000 ක් , දෙවන මාත්‍රාව ලෙස ලබා දීමට නියමිතව ඇති අතර , එයින් එන්නත් මාත්‍රා 15,000 ක කොටසක් , මෙලෙස අද දින එවා තිබේ .
මෙසේ ස්පුට්නික් දෙවන මාත්‍රාව ලෙස එන්නත් කිරීමට අවශ්‍ය ඉතිරි එන්නත් මාත්‍රා 135,000 ක ප්‍රමාණය ද , මෙම අගෝස්තු මස අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවට ලබා දීමට , රුසියානු සමූහාණ්ඩුව එකගතාවය පළ කර ඇති බව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා පැවසීය .
මෙම රුසියානු " ස්පුට්නික් - V " එන්නත , පළමු සහ දෙවන මාත්‍රාව ලෙස කොටස් දෙකකින් සමන්විත වේ .