චීනයේ චැන්ග් -5 ගවේෂණ චන්ද්‍රිකාවේ ලෑන්ඩර් යානය (සඳමත ගොඩබෑම සිදුකරන) සහ ඇසෙන්ඩර් යානය (සඳ පෘෂ්ඨයෙන් යළි ඉහළ නැගීම සිදුකරන) එරට වේලාවෙන් සඳුදා අලුයම 4:40 ට සඳෙහි කක්ෂය මත වූ ප්‍රධාන චන්ද්‍රිකාවෙන් වෙන්වී ඇති බව චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය පවසයි.
චන්ද්‍ර ගවේෂණයෙන් යුතු මෙම චීනයේ යානා පද්ධතිය ලෑන්ඩර්, ඇසෙන්ඩර්, ඕබිටර් සහ රිටර්නර් යන යානා මොඩියුල හතරක ක්‍රියාකාරීත්වයකින් යුතුව මේ සතියේ අතිශය කාර්යබහුල ක්රියාකාරීත්වයක යෙදීමට නියමිතය.
මෙහෙයුම් කණ්ඩායම පැවසුවේ ලැන්ඩර් සහ ඇසෙන්ඩර් යානා මෘදු ගොඩබෑමක් සඳහා නියම වේලාවක් බලාපොරොත්තුවෙන් සිටින බවය. එහිදී ඕබිටර් සහ රිටර්නර් (සඳ කක්ෂයේ සිට යළි පෘථිවිය කරා පැමිණීම සිදුකරන) යානා මේ වනවිට දිගටම සඳේ කක්ෂය වටා ගමන් කරමින්, ඇසෙන්ඩර් යානය සඳ පෘෂ්ඨයේ සිට යළි පැමිණෙන තෙක් සූදානමින් සිටිනු ඇති බවය.
ඒ අනුව යානා ගොඩබෑමේ මෙහෙයුම දින තුනකින් අපේක්ෂා කෙරේ. එය චන්ද්‍ර පෘෂ්ඨයට ස්පර්ශ වූ පසු, ලෑන්ඩර් යානාය විසින් චන්ද්‍ර සාම්පල කිලෝග්‍රෑම් දෙකක් එකතු කරගැනීමට නියමිතය.
ඒ සඳහා මීටර දෙකක ගැඹුරකින් යුත් සිදුරක් හෑරීම සහ එහි ඇතුළත සිට පස ඉවතට ගැනීම සිදුකරනු ඇති අතර, මේ මගින් වසර බිලියනයකට පෙර සිට වර්තමානය දක්වා සඳෙහි තොරතුරු එක්රැස් කිරීම අරමුණ වී ඇත.
බීජිං හි අණදෙන කණ්ඩායමේ ප්‍රධානී ලියු ජියැන්ගාං පවසන පරිදි නියැදි ලබාගැනීමෙන් පසු චන්ද්‍ර පෘෂ්ඨයෙන් නැගීම පැය 48 ක් ඇතුළත අවසන් කළ යුතු බවය.