සීනි බදු අඩු කිරීම තුළින් රජය බලාපොරොත්තු වූයේ මහජනතාවට සහනයක් සැලසීම වුවත් අවසානයේ මේ රටේ ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් පිරිසක් එම සහනය තමන්ගේ සාක්කුවට දමාගෙන ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්රමුඛ නිලධාරින් පිරිසක් ඊයේ (11) පස්වරුවේ බෝගල මිනිරන් පතළේ කටයුතු සොයා බැලීම සඳහා එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
“රජය සීනි බද්ද අඩු කළේ මහජනතාවට සහන සැළසීමේ අරමුණින්. නමුත් එහි වාසිය ජනතාවට ගියේ නැහැ. මේ රටේ ප්‍රධාන පෙළේ ජාවාරම්කාරයින් පිරිසක් විසින් එම වාසිය තමන්ගේ සාක්කුවට දමාගෙන තිබෙන බව පෙනෙනවා. මහජනතාවට එම වාසිය ලබා දීමට රජය අපොහොසත් වු බව අපි පිළීගන්නවා. ඒ වගේම මෙම වංචාව සම්බන්ධයෙන් සොයා බලා වැරදිකරුවන්ට දඩුවම් ලබා දිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා.
මෙම වාසිය ලබා දීම තුළ එමගින් කිසියම් මුදලක් දේශපාලනඥයෙක් අතට ගියා කියා මම හිතන්නේ නැහැ. සමහරු කියනවා මහබැංකු බැඳුම්කර ගිවිසුම මගින් සිදු කළ වංචාව හා මෙම වංචාව සමානයි කියළා. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මුළින්ම අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිළි කළේ මම. ඒ 2015. මාර්තු මස 09 දින. ඊට පස්සේ තමයි අනිත් අය මේක අල්ලාගෙන ඉදිරියට ගියේ.
ඒ වගේම මෙම සීනි බදු සහනය ලබා දීම සිදු කළේ ජනතාවට සහනයක් දෙන්න. නමුත් සිදු වුනේ එම වාසිය කිසියම් ජාවාරම්කාරයින් පිරිසක් තමන්ගේ සාක්කුවට දමා ගැනීම. රජය එම පියවර ගත්තේ යහපත් චේතනාවෙන් මිස වංචා කිරීමේ චේතනාවකින් නොවෙයි. ඒ නිසා බැඳුම්කර සිද්ධියයි, මෙම සිද්ධියයි කිසිසේත්ම සමාන වෙන්නේ නැහැ.
අපි හිතන්නේ මින් පසු මෙවැනි අඩුපාඩු නොවිය යුතුයි. ඒ වගේම වගකීම් පැහැර හැරපු අයත්, මෙම වංචාව සිදු කළ ජාවාරම්කාරයින් සම්බන්ධවත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියා මම විශ්වාස කරනවා”