චීනය එරට සාමාන්‍ය මහජනතාවගේ භාවිතය සඳහා කොවිඩ්-19 වෛරසයට එරෙහි ස්වදේශික එන්නත් අතරින් ප්‍රථම එන්නත සඳහා අනුමැතිය ලබාදෙමින්, එරට මහජනතාවට නොමිලේ එන්නත් ලබාදෙන බවට පොරොන්දු වී තිබේ.
තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම්වලින් මෙම එන්නත 79.34%ක ඵලදායීබවක් පෙන්වන බව එහි නිෂ්පාදකයා වන රජය සතු ඖෂධ නිෂ්පාදන දැවැන්තයෙකු වන සීනෝෆාම් ප්‍රකාශ කිරීමෙන් දිනකට පසුව මෙම අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව පෙබරවාරි මාසයේ චන්ද්‍ර අලුත් අවුරුදු සැමරුමට පෙර මිලියන 50ක ජනතාවකට සීනොෆාම් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත ලබාදීමට චීනය අපේක්ෂා කරයි. කෙසේ වෙතත් මීට පෙර සිටම මෙම එන්නත හදිසි භාවිතය වැඩසටහන් යොදාගෙන තිබුණි.
චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ උප අමාත්‍ය සෙන්ග් යික්සින් ප්රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ සීනෝෆාම් එන්නත චීන පුරවැසියන්ට නොමිලේ ලබා දෙන බවයි.
"එන්නත එහි ස්වභාවය අනුව පොදු යහපතක් වන අතර, භාවිතයේ පරිමාව අනුව මිල වෙනස් විය හැකියි. නමුත් වැදගත් කරුණක් වන්නේ එය මහජනයාට නොමිලේ ලබා දීමයි" යනුවෙන් සෙන්ග් පැවසීය.
දෙසැම්බර් 15දා සිට මේ දක්වා එන්නත් මාත්‍රාවන් මිලියන 3කට වැඩි ප්‍රමාණයක් ප්‍රධාන කණ්ඩායම් වෙත ලබා දී ඇතැයි සෙන්ග් පැවසීය. එය නොවැම්බර් මාසය අවසන් වනවිට අධි අවදානම් ඉදිරි පෙළ කණ්ඩායම් සඳහා ලබා දී තිබූ මාත්‍රාවන් මිලියන 1.5කට වඩා ඉහළ අගයකි.
එහිදී එන්නත් ලබාගත් අයගෙන් 0.1% කටත් වඩා අඩු සංඛ්‍යාවක් සැහැල්ලු උණ තත්ත්වයක් පෙන්වා ඇති අතර, මිලියනයකට පුද්ගලයන් දෙදෙනෙකු පමණ අසාත්මිකතා වැනි සාපේක්ෂ බරපතල අහිතකර ප්‍රතික්‍රියා පෙන්වූ බව සෙන්ග් පැවසීය.
මීළඟ පියවර වන්නේ සාමාන්‍ය ජනතාවට එන්නත ලබා දීමට පෙර වයෝවෘද්ධ අය සහ නිධන්ගත රෝග ඇති පුද්ගලයින් එන්නත් කිරීම බවද සෙන්ග් සඳහන් කළේය.