සුනාමි ව්‍යසනයෙන් පසු නැගී සිටියා මෙන්ම තිස් අවුරුදු යුද්ධය ජයග්‍රහණය කළා සේ ‘කොරෝනා අභියෝගයෙන්’ ජාතියක් ලෙස අපට ජයගත හැකි බවත් ඒ සදහා පෙර අවස්ථාවලදී මෙන්ම සියලූ දෙනා එකමුතුව කැපවීම් කළ යුතුව ඇති බවත් ජානිපෙ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
තදබදය අවම කරමින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවසටම බෙදාහැරීමේ රාජ්‍ය යාන්ත්‍රණය, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තුළ ක්‍රියාත්මක කිරීමේ රාජ්‍ය නිලධාරී රැස්වීමේදී ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා ,
“කොරෝනා වසංගතයට ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු දියුණු යැයි සම්මත යුරෝපා රටවලටත් සාර්ථකව මුහුණ දීමට නොහැකි වී තිබෙනවා. එම රටවල් සතුව ශක්තිමත් රාජ්‍ය සෞඛ්‍ය සේවයක් නොමැතිවීම, පෞද්ගලික අංශය සතු සෞඛ්‍ය සේවාවන් ලාභය පිළිබඳව සලකා කටයුතු කිරීම ආදී හේතු එසේ වීමට බලපා තිබෙනවා. එනමුත් ඊට සාපේක්ෂව ශ්‍රී ලංකාව සතුව ශක්තිමත් රාජ්‍ය සෞඛ්‍ය සේවාවක් පැවතීම අපට මෙම වසංගතයට සාර්ථකව මුහුණ දීමට හැකිවීමට එක් හේතුවක් වී තිබෙනවා.
ඉහත රටවල භාණ්ඩ සැපයුම් ජාලයත් සම්පූර්ණයෙන්ම පාහේ පෞද්ගලික අංශය සතුයි. අපේ රටෙත් පෞද්ගලික අංශය සතුව සැපයුම් ජාලා පැවතියත් රාජ්‍ය අංශයටත් සතොස, විවිධ සේවා සමූපකාර සමිති ආදී සැපයුම් ජාල පවතිනවා. එයත් මෙම අවස්ථාවේදී අපට වාසිදායක වී තිබෙනවා. එසේම රටට විපතක් සිදුවන ඕනෑම මොහොතක යොදවා ගත හැකි රාජ්‍ය හමුදාවක් ද අපේ රට සතුයි. අද නිරෝධායන කටයුතු ශක්තිමත්ව සිදු කිරීමට අපට හැකි වී ඇත්තේ ඒ නිසයි. ඔස්ට්‍රේලියාව වැනි රටවල් නිරෝධායන කටයුතු තරු පංතියේ හෝටල්වල සිදු කළත් ඒවාට අදාළ පුද්ගලයා ගෙවීම් කළ යුතුයි. එවැනි තත්ත්වයක් යටතේ කිසිසේත්ම ශක්තිමත් නිරෝධායන වැඩපිළිවෙලක් ද සැකසෙන්නේ නැහැ” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.