කුවේට් ජාතික යුවළක් විසින් නීතිවිරෝධී ලෙස නිසි බලපත්‍ර නොමැතිව සුනඛයෙක් ශ්‍රී ලංකාවට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළේ රාජකාරි කරමින් සිටි රේගු නිලධාරීන්ගේ රාජකාරියට බාධා ක , ඔවුන්ට පහර දීමේ සිද්ධිය මත ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන තුනක් මගින් පරීක්ෂණ පවත්වා , ඔවුන්ට දඩුවම් නියම කර තිබේ.සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, ලංකා රේගුව සහ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය එම රාජ්‍ය ආයතන තුනයි.
මෙම කුවේට් ජාතික යුවළ මීට පෙර අවස්ථා දෙකකදීද මේ ආකාරයට සුනඛයෙක් රැගෙන විත් ශ්‍රී ලංකාව තුළ දී ප්‍රශ්න ඇති කර ගෙන තිබුණි.
අවසන් වශයෙන් ඉකුත් 07/27 දින ද මේ ආකාරයටම සුනඛයෙක් රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් සමග මෙසේ ගැටුමක් ඇති කර ගෙන තිබුණි.
මුලින්ම කටුනායක ගුවන් තොටුපොළ සත්ව නීරෝධායන නිලධාරීන්ට තම රාජකාරිය නිසි අයුරින් ඉටු කිරීමට බාධා කිරීම, නිසි බලපත්‍රයක් නොමැතිව සුනඛයෙක් ශ්‍රී ලංකාවට ගෙන ඒම යන චෝදනා මත මෙම කුවේට් යුවළට රුපියල් 5,000ක දඩ මුදලක් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් පැවති පරීක්ෂණ වලදී නියම කර තිබේ.
කටුනායක ගුවන් තොටුපොළ සේවයේ යෙදී සිටි රේගු නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, එම අවස්ථාවේ ගුවන් තොටුපොළ තුළ සේවයේ යෙදී සිටි රේගු නිලධාරීන් 06 දෙනෙකුට පහර දී තුවාල සිදු කිරීම යන චෝදනා මත ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන අංශය පරීක්ෂණ පැවැත්වූ අත , එහිදී මෙසේ නිසි බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවට රැගෙන ආ සුනඛයා රාජසන්තක කළ අතර , මෙම කුවේට් ජාතික යුවළට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ද ගෙවන ලෙස රේගු අඥා පනතේ 163 වැනි වගන්තිය යටතේ නියම කළේය .
පසුව මෙම සුනඛයා වැලිසර සත්ව නීරෝධායතනය වෙත ඉදිරිපත් කර තාවකාලිකව බලපත්‍ර ලබා ගැනීමට යොමු කර , ඒවා ලබා ගැනීමෙන් පසු, මෙම කුවේට් ජාතික යුවළට රුපියල් 15,000 ක ලිහිල් කළ දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කළ නියෝජ්‍ය රේගු අධ්යක්ෂවරයා , එම මුදල ගෙවීමෙන් පසු එම සුනඛයා ඔවුන් වෙත නිදහස් කිරීමට පියවර ගෙන තිබුණි .
මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පරීක්ෂණයක් පැවති අතර , එහිදී මෙම කුවේට් ජාතික යුවළට මාස 06 ක සිර දඩුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරයා , එය වසර 05 ක කාලයක් සදහා අත් හිටවනු ලැබීය. ඊට අමතරව මෙම කුවේට් ජාතික යුවළට රුපියල් 9,000 බැගින් රුපියල් 18,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.
ටී.කේ.ජී කපිල