පසුගිය ජුනි 09 වැනිදා සිට ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ ගෙවීගිය සති තුනක කාලය තුළදී සිදුකළ වැටලීම්වලදී විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් නවදහස් හාරසිය දහයක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මීට අමතරව නීතිවිරෝධී මධ්‍යසාර හා බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවි කිරීම යන චෝදනා යටතේ සැකකරුවන් හත්දහස් පන්සිය අනූඅටක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
පසුගිය ජුනි 09 වැනිදා සිට ජූලි 02 වැනිදා දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම්වලදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.
මෙම මෙහයුම්වලදී නීතිවිරෝධී මත්පැන් ලීටර් අනූ එක්දහස් පන්සිය අසූහතක්, ගෝඩා ලීටර් තුන් ලක්ෂ තිස්දෙදහස් අසූහතක ප්‍රමාණයක්, බලපත්‍ර නොමැති රා ලීටර් 1547ක් සහ බලපත්‍ර නොමැතිව අලෙවි කිරීමට තබා තිබූ මත්පැන් ලීටර් දසදහස් හයසිය හතරක් අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
එසේම නීතිවිරෝධී දුම්වැටි එකොළොස් දහස්හයසිය තිස්එකක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
මීට අමතරව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර තිබූ පුද්ගලයන් 1,951ක්ද අත්අඩංගුවට ගත් බවද රුවන් ගුණසේකර මහතා පවසා සිටියේය.
මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කළ බවත්, ඒ අනුව පාසල් ළමයින් තුන්ලක්ෂ හතළිස් දෙදහස් දෙසිය හතළිස් දෙකක් හා වෙනත් පුද්ගලයන් එක්ලක්ෂ හැටඑක්දහස් අටසිය හැත්තඑකක ප්‍රමාණයක් දැනුවත් කර තිබෙන බවද ඒ මහතා සඳහන් කර සිටියේය.
එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සහභාගි කරගෙන පැවැත්වූ රුක් රෝපණ වැඩසටහන්වලදී පැළ 38,121 සිටුවා තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මෙම පිරිස සහභාගි කරගෙන ශ්‍රමදාන ව්‍යාපාර 1,581ක්, ක්‍රීඩා තරග 1,606ක් පැවැත්වීමට කටයුතු කළ බවත්, මත්ද්‍රව්‍ය භාවිත කළ කළ පුද්ගලයන් 2,012ක් පුනරුත්ථාපන කටයුතුවලට යෙදවීමට හැකි වූ බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.