සති දෙකක සමාජ දුරස්ථ ප්‍රතිපත්තියක් මගින් ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය පැතිරීම 65%කින් අඩුකර ඇති අතර, නව ආසාදිතයන් ලක්ෂ 15කට වඩා වළක්වා ගත හැකි වූ බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
සමාජ දුරස්ථභාවයට එරෙහි වූ, එසේම වෙනත් ප්‍රබල සෞඛ්යාරක්ෂක ප්‍රවේශයක් භාවිත නොකළ ඇතැම් රටවල සහ ප්‍රාන්තවල වෛරසය පැතිරීමේ අඩුවක් දැකිය නොහැකි බව මෙම අධ්‍යයනය සිදුකළ එක්සත් ජනපද ටෙක්සාස් විශ්වවිද්‍යාලය පවසයි.
"එවැනි ප්‍රතිපත්ති නොමැති රාජ්‍යයන් හා සසඳන විට සමාජ දුරස්ථ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් පසු සම්ප්‍රේෂණ අනුපාතවල සැලකිය යුතු අඩුවීමක් රාජ්‍යයන් විසින් නිරීක්ෂණය කර ඇති බව අපට පෙනී ගියා." යැයි පශ්චාත් ආචාර්ය උපාධි අධ්‍යයන පද්ධති ජීව විද්‍යාව පිළිබඳ ඩැනියෙල් මැක්ග්රේල් සඳහන් කළේය.
ඔවුන් මෙහිදී රටවල් 134ක දත්ත මෙන්ම, එක්සත් ජනපදයේ ප්‍රාන්තවල ක්රියාකාරීත්වයද සිය අධ්‍යයනය සඳහා යොදාගෙන තිබේ.
"ගෝලීය වශයෙන්, සමාජ දුරස්ථ ප්‍රතිපත්ති මගින් කොවිඩ්-19 පැතිරීමේ වේගය සැලකිය යුතු ලෙස අඩු කර ඇති තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සති දෙකක කාලයක් තුළ නව කොවිඩ්-19 රෝගීන් 65%කින් අඩු වී ඇති බව සඳහන් කළ හැකියි."
විශේෂයෙන්ම රටවල් 46ක ප්‍රතිපත්ති ප්‍රබල බලපෑමක් ඇති කළ අතර, සති දෙකක කාලයක් තුළ ඇස්තමේන්තුගත කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 1.57ක් වළක්වා ලූ බවද ඔවුන් සඳහන් කරයි.
කෙසේ වෙතත් නව කොරෝනා වෛරසය පැතිරීම අවම කිරීම සඳහා ඇති එකම ක්‍රමය සමාජ දුරස්ථභාවය නොවන බවද පර්යේෂකයන් පවසයි.
නිදසුනක් වශයෙන්, දකුණු කොරියාව සමාජ දුරස්ථ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නැති අතර, ඒ වෙනුවට කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීම සඳහා ප්‍රබල සම්බන්ධතා සොයා ගැනීමේ ප්‍රවේශයක් භාවිත කර තිබේ.