පාරිභෝගිකයා වෙත රුපියල් 130 බැගින් අලෙවිකිරිම සඳහා අවශ්‍ය දුඹුරු සීනි තොග මේ වනවිට සතොසට නිකුත් කර ඇති අතර (30) සිට ලංකා සීනි සමාගම මගින් සමුපකාර සමිති වෙත නිකුත් කරන බව දැනට කෝවිඩ් ආසාදිතව සිය නිවසේ ම ප්‍රතිකාර ලබන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා 29දා පැවසුවේය.
රටේ සීනි මිල ඉහළයාම හේතුවෙන් පාරිභෝගික ජනතාව පත්ව ඇති අසීරුතාවෙන් මුදවාගැනීමට මෙම පියවර ගත් බව දුරකතනය ඔස්සේ අදහස් දක්වමින් උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කරාබුනැටි, බුලත් ආශ්රිත කර්මාන්ත සහ අපනයන ප්‍රවර්ධන ඇතුලු කුඩා බෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේය.
සෙවනගල, පැලවත්ත සහ හිඟුරාන සීනි කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන සීනි, ලංකා සීනි සමාගම විසින් බෙදා හරිනු ලබයි. රටපුරා ඇති සියලුම සමූපකාර වෙළඳසැල් සහ සතොස අලෙවිසැල් වලින් රුපියල් 130ට සීනි මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට හැකිවනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
‘ලංකා සීනි සමාගම සතු සීනි තොග මදිනම් රජය විසින් ලබාදුන් බදු සහනය යටතේ සීනි ආනයනය කර රටතුල දැනට පවතින සීනි ඒකාධිකාරිය හේතුවෙන් පාරිභෝගික ජනතාව මුදාගැනීමට පියවර ගන්නවා. එහෙම සීනි ගෙන්වලා දේශීය වෙළඳපොළට ලංකා සීනි සමාගම සීනි නිකුත් කරනවා. රුපියල් පනහකට තිබූ සීනි ආනයනය බද්ධ රජය විසින් අඩු කළේ පාරිභෝගික ජනතාවට සහනයක් දෙන්නයි. නමුත් වෙලා තියෙන්නේ වෙළඳපොලේ සීනි මිල රුපියල් දෙසීය ඉක්මවලා තියන එකයි.’
‘සීනිවලට දුන් බදු සහනය ජනතාවට ගියේ නෑ. ලංකා සීනි සමාගම හරහා ඒ බදු සහනය ජනතාවට ලබාදෙන්න කටයුතු කරනවා.’ යැයි ද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා දුරකතනය ඔස්සේ පැවසුවේය.
අජිත්ලාල් ශාන්තඋදය සහ කොලොන්නේ ජේ. නානායක්කාර