ආණ්ඩුවේ රැකියා දීමේ වැඩසටහන ප්‍රෝඩාවක් බවත්, රැකියා ලබා දෙන බවට පවසා රැවටීමට ලක් කළ සියලුම තරුණ තරුණියන්ට රැකියා ලබා දීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ලෝකයේ කෝවිඩ් මර්දන එන්නතක් හදුන්වා දී තිබුණත් ආණ්ඩුව ඒ පිළිබඳ අවදානයක් නොමැති බවත්, ආණ්ඩුව ජනතාව ගැන හිතනවා වෙනුවට තැරැව්කාරයන්ව රකින බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
"උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ තුළ විශාල අසාධාරණයක් වෙලා තියෙනවා. පෞද්ගලික අංශයේ රැකියා කරමින් සිටි උපාධිධාරීන් දස දහසක් රජයේ රැකියා බලාපොරොත්තුවෙන් ආවා. අද ඒ අයට රජයේ රැකියා අහිමිවෙලා. මේ හේතුවෙන් ඔවුන් අන්ත අසරණ භාවයට පත් වෙලා.
ජන සමාජයේ බුද්ධිමත්, තරුණ පරපුර මෙලෙස රැවටීමට ලක් කිරීම පිළිබඳව අපි බලවත් අප්‍රසාදය පළකරනවා. වහාම ඔවුන්ට රැකියා ලබාදීමට කටයුතු කරන්න කියලා අපි රජයට කියනවා.
අපි දන්නවා කොරෝනා වෛරසය මැඩලීම උදෙසා ෆයිසර් නැමති ආයතනය නවතම එන්නතක් හඳුන්වා දීලා තියෙනවා. එම එන්නත ලබා ගැනීම සඳහා යුරෝපා හවුල ඇතුළු රටවල් රාශියක් ඇනවුම් ලබා දීලත් ඉවරයි. අපේ ආණ්ඩුව මේ පිළිබඳව සිය අවධානය යොමුකොට තිබෙනවාද කියා මා දන්නේ නෑ.මේ වගේ දේවල් පිළිබඳව ආණ්ඩුව කිසිදු තැකීමක් කරන්නෙ නෑ. ඒ වෙනුවට තමන්ගේ තැරැව්කාරයන්ගේ මඩි තරකිරීම වෙනුවෙන් ආණ්ඩුව පෙනී සිටිනවා. අපි මෙතෙක් කී සියල්ල අද වනවිට සත්‍ය වෙලා තිබෙනවා."යැයි ද සඳහන් කළේය.
තිස්සමහාරාම, ඔසුවින්න ආසනගල ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයට පැමිණ එහි විහාරාධිපති, පොදු රාජ්‍ය මණ්ඩලීය බෞද්ධ කවුන්සිලයේ, රුහුණු මාගම්පත්තුවේ හා ඌව පළාත් අධ්‍යක්ෂක පූජ්‍යපාද දොළොස්බාගෙ සුපන්නක තිස්ස නාහිමිපාණන්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේය.