එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම්කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨයින්ගෙන් කොළ එළියක් ලැබී ඇතැයි 'අද' පුවත්පතට වාර්තාවේ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ ප්‍රධානීන්ගේ සහ එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන පක්ෂවල නායකයන්ගේ විශ්වාසය දිනාගැනීම මත අපේක්ෂකත්වය ලබාගැනීමට හැකියාව ඇතැයි එක්සත් ජාතික පෙරමුණේ ඉහළ මට්ටමේ සාකච්ඡාවකදී සාකච්ඡා කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග 'අද' පුවත්පතට සඳහන් කළේය.
ඉදිරි ජනාධිපතිවරණයේදී තම ජනාධිපති ධුර අපේක්ෂයා තෝරාගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ දීර්ඝ සංවාදයක් පැවැති අතර, රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැති අර්බුදය හේතුවෙන් තීරණයකට එළඹීම ප්‍රමාද විය.
එක්සත් ජාතික පෙරමුණේ සහෝදර පක්ෂ නායකයන් ඇතුළු සියලු දෙනාගේ විශ්වාසය දිනාගැනීමට සජිත් ප්‍රේමදාස මහතාට හැකියාව ඇත්නම් ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඔහු නම්කිරීමට බොහෝ දුරට ඉඩඇති බවද වාර්තා වේ.කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් තීරණයක් ගෙන නොමැත.
මේ අතර ඊයේ (05දා) කුරුණෑගලදී පැවැති ජනරැලියේදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර සිටියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කරු ජයසූරිය මහතාගේ ආශිවර්වාදයෙන් එක්සත් ජාතික පක්ෂයේ සියල්ලන්ගේම සහයෝගයෙන් එක්සත් ජාතික පක්ෂ රජයක් බිහිකිරීමට කැපවන බවයි.
එමෙන්ම අදාළ රැලිය සංවිධානය කළ රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා රැලිය අමතමින් සඳහන් කළේ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සියල්ලම සජිත් ප්‍රෙමදාස මහතාට සහයෝගය ලබාදෙනු ඇති බවයි.
කෙසේවෙතත් ඉදිරි සති කිහිපය ඇතුළත එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා නම්කරනු ඇතැයිද එම පෙරමුණේ පක්ෂනායකයෝ බලාපොරොත්තුවෙන් සිටිති.
මේ අතර, ප්‍රජාත්‍රන්ත්‍රවාදී ජාතික පෙරමුණ ගොඩනැගීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ ඇතුළු සහය දෙන පක්ෂවල නායකයින් අද දිනයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති අතර එහිදීද මෙම කරුණු සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවද වාර්තාවේ.
අද දිනයේ පැවැත්වෙන එම සාකච්ඡාව ජනාධිපති අපේක්ෂකත්වය මෙන්ම නව සන්ධානය පිළිබඳව තීරණාත්මක එකක්වනු ඇති බවද ප්‍රකාශ වේ.