කොවිඩ් 19 වසංගතය මෙරටට පැමිණීමට පෙර මෙරට තිබු තත්ත්වයටත් වඩා දියුණු තත්ත්වයකට මෙරට සංචාරක කර්මාන්තය ගෙන ඒම වත්මන් රජයේ අපේක්ෂාව බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ ඒ සදහා අවශ්‍ය සැලසුම් සහ ක්‍රියාත්මක වැඩසටහන් මේ වන විටත් සකස් කර අවසන් බවයි.
කටුනායක හා මත්තල ගුවන් තොටුපළ විවෘත කිරීමෙන් අනතුරුව දිවයිනට සංචාරකයන් පැමිණීම ආරම්භ වීමෙන් පසු එම සැලසුම් ක්‍රියාත්මක කරන බව ඇමතිවරයා මෙහි දී කියාසිටියේය.
ඔහු පෙන්වා දුන්නේ මෙරට ජනතාව කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කරගනිමින් සංචාරක කර්මාන්තය ද පවත්වා ගෙන යාමට රජය සුදානම් බවයි.
අදට (27) යෙදෙන ලෝක සංචාරක දිනය නිමිත්තෙන් මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හිදි පැවති උත්සවයේ දී ඇමතිවරයා මේ බව සදහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ,
“සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉතාමත් සුවිශේෂී ක්ෂේත්රයක්. එය අපේ රටේ පුරවැසියන් මිලියන ගණනකට සෘජු හා වක්‍ර රැකියා අවස්ථා සපයනවා. සමාජයේ වැරදි අවබෝධයක් තිබෙනවා සංචාරක කර්මාන්තයට දායක වන්නේ සංචාරක හෝටල්, සංචාරක ගමනාන්ත ආයතන සහ සංචාරක මගපෙන්වන්නන් පමණක් කියලා. නමුත් සංචාරක කර්මාන්තය කියන්නේ ඊට වඩා පුළුල් ක්ෂේත්රයක්. එය අනෙකුත් කර්මාන්ත රැසක් සමඟ බැඳී පවතිනවා. උදාහරණක් විදිහට ගත්තොත් සංචාරක හෝටල්වලට මාළු සපයන වෙළෙන්දත් මෙහි කොටස්කරුවෙක්. ඒවගේම ප්‍රවාහන පහසුකම් සපයන ත්‍රීරෝද රථ රියදුරත් මෙහි කොටස්කරුවෙක්. නුවර පෙරහැරේ නර්තන ශිල්පීන්ද මෙහි කොටස්කරුවෝ. සංචාරකයෙක් අපේ තේ කෝප්පයක් රස විඳිනවනම්, තේ දලු නෙලන පිරිසද සංචාරක කර්මාන්තයට දායක වෙනවා. මේ අනුව තැඹිලි වෙළෙන්දන්, මැණික් සහ ස්වර්ණාභරණ කරුවන් වගේම වනඋද්යානවල,තල්මසුන් නරඹන ස්ථාන වැනි සංචාරක ආකර්ෂණීය ස්ථානවල වැඩ කරන පිරිස්ද සංචාරක සත්කාරක නිවාසවල සේවය කරන අයද සංචාරක කර්මාන්තයට සම්බන්ධ වෙනවා. එනිසා සංචාරක කර්මාන්තයේ ප්රතිලාභ ඉතා පුළුල් පරාසයක විහිදෙනවා. එය ආර්ථික වශයෙන් පමණක් නොවේ සමාජීය, සංස්කෘතික, පාරිසරික වශයෙන්ද අපේ ජනතාවට වැදගත්.
වර්තමානයේ මුළු ලෝකයටම බලපා තිබෙන කොරෝනා වසංගතය හමුවේ, අපේ සංචාරක ව්‍යාපාරයත් අභියෝග රැසකට මුහුණපාලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ අපේ ආණ්ඩුවේ දූරදර්ශී ක්‍රියාකලාපයන් හේතුවෙන් ලෝකයේ දියුණු රටවලට වඩා සාර්ථකව අපි මෙම වෛරසය පාලනය කිරීමට සමත් වුණා. ඒ නිසයි ලෝක සංචරණ සහ සංචාරක කවුන්සිලය ශ්‍රී ලංකාව වඩාත් සුරක්ෂිත ගමනාන්තයක් ලෙස නම් කළේ.