පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පත්කර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (08) දින පාර්ලිමේන්තුවේ දී ලබා දුන්නේය.
පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී එම පත්වීම් පත්වීම ලබාදුන් බව අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙයට පෙර ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරය හෙබවූ අතර ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවන එම ධුරය සඳහා මෙසේ නීතිඥ සාගර කාරියවසම් මහතා පත්කර තිබේ.
පත්වීම් ලිපිය ලැබූ නීතිඥ සාගර කාරියවසම් මහතා ඊට සුළු වේලාවකට පසුව සිය ධුරයේ වැඩ භාරගත්තේය.
රජය විසින් ඉන්ධන මිල වැඩිකිරීම ගත් තීරණය බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ප්‍රකාශයට පත්කිරීමත් සමග ඒ සඳහා විරෝධය පළකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා ලෙස නිවේදනයක්ද සාගර කාරියවසම් මහතා නිකුත් කළේය.
ඉන් අනතුරුව උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් එයට පිළිතුරු ලබාදුන් අතර පසුව සාගර කාරියවසම් මහතාද එයට පිළිතුරු ලබාදීමට මාධ්‍ය හමුවක් පැවැත්වීය.