එන්නත් කරන ලද පුද්ගලයන් පසුගිය සති හතර තුළ සිංගප්පූරුවේ කොවිඩ්-19 ආසාදනවලින් හතරෙන් තුනකටම ගොදුරු වූ නමුදු ඔවුන් බරපතල ලෙස රෝගාතුර නොවූ බව රජයේ දත්ත පෙන්වා දෙයි.
ඒ අනුව කොරෝනා වෛරසයේ දරුණු අවස්ථා වළක්වා ගැනීම සඳහා එන්නත් බෙහෙවින් ඵලදායී බව දත්ත පෙන්වා දෙන අතර, එන්නත් කළ අය පවා බෝ විය හැකි අවදානම අවධාරණය කරමින්, එන්නත් කිරීම පමණක් සම්ප්‍රේෂණය නතර කිරීමට ප්‍රමාණවත් නොවන බවද පෙන්වා දෙයි.
පසුගිය දින 28 තුළ සිංගප්පූරුවේ දේශීයව සම්ප්‍රේෂණය වූ ආසාදන 1,096න් 484ක් හෙවත් 44%ක් පමණ සම්පූර්ණයෙන්ම එන්නත් ලබා ඇති පුද්ගලයින් වන අතර, 30%ක් අර්ධ වශයෙන් එන්නත ලබාගෙන ඇත. එමෙන්ම 25%කට වඩා වැඩි සංඛ්‍යාවක් තවමත් කිසිදු එන්නතක් ලබාගෙන නැත.
ආසාදිතයන්ගෙන් බරපතල රෝගාබාධ ඇති වූ 7ක් සඳහා ඔක්සිජන් ලබාදී ඇති අතර, තවත් අයෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවෙයි. කෙසේ වෙතත් මේ 8 දෙනාගෙන් කිසිවෙකුට සම්පූර්ණයෙන් එන්නත් මාත්‍රා ලබාදී නොමැති අය බව සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
"එන්නත ලබා දීමෙන් කෙනෙකුට ආසාදනය වූ විට බරපතල රෝග වළක්වා ගත හැකි බවට අඛණ්ඩ සාක්ෂි සැබෑ ලෝකයේදීම මෙයින් තහවුරු වෙනවා" යැයි එරට අමාත්‍යාංශය පවසයි. එහිදී සම්පූර්ණ එන්නත ලබා ආසාදිත පුද්ගලයන් කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිව හෝ මෘදු රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කර ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
මේ නිසා ඔබේ කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රාව හැකි විගස ලබාගැනීමේ වටිනාකම ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ලොවපුරා වසංගත රෝග විද්‍යාඥයන් අවධාරණය කරයි. එසේම එන්නත ලබාගෙන සිටියද මහජන සෞඛ්‍ය පුරුදු ලෙස මුඛ ආවරණය, නිතර දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීමේ වැදගත්කමද වසංගතය මුළුමනින්ම පාලනය සඳහා උපකාරී වන බව පෙන්වා දෙයි.