පුද්ගලයන් 290කට මරු කැඳ වූ හා පුද්ගලයන් 500කට වැඩි පිරිසකට තුවාල සිදු වූ බෝම්බ ප්‍රහාර සමූහය ජාතික තවුහික් ජමාත් නමැති ඉස්ලාමීය අන්තවාදී කල්ලියක සාමාජිකයන් පිරිසක් විසින් සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවට ආරක්ෂක අංශ හෙළිදරව් කරගෙන තිබේ.
දේවස්ථාන තුනකට හා තරු පන්තියේ හෝටල් තුනට ප්‍රහාර එල්ල කිරීම සඳහා මරාගෙන මැරෙන ත්රස්තවාදීන් 08 දෙනෙකු පමණ සහභාගි වී ඇති බවට මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන කණ්ඩායම් විසින් හෙළිකර ගෙන තිබේ. මෙම ත්රස්තවාදීන්ගෙන් දෙදෙනෙකුගේ අනන්‍යතාව හෙළිකර ගැනීමට ආරක්ෂක අංශ මේ වනවිට සමත්ව තිබේ.
කොළඹ ෂැංග්‍රිලා හෝටලයට ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්ත සාමාජිකයා ඉන්සාන් සීලවන් ලෙස හඳුනාගෙන ඇති අතර, දෙමටගොඩ පිහිටි සුවිසල් නිවසේදී බෝම්බ පිපිරීම් දෙකකින් මරණයට පත්ව ඇත්තේ ඔහුගේ බිරිඳ, දරු දෙදෙනා හා සහෝදරයෙකු බව පොලීසිය සඳහන් කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා නිවසේ හිමිකරු වන ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් ඊබ්‍රහීම් හෙවත් ඊබ්‍රහිම් හජ්ජියාර් හා ඔහුගේ පුත්‍රයෙකු අතුළු ඥාතීන් කිහිපදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මෙම ව්‍යාපාරිකයා ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් කිහිපදෙනෙක් ළඟින් ඇසුරු කළ අයෙකු බවද ආරක්ෂක අංශ සඳහන් කරයි.
එමෙන්ම දෙහිවල ජාතික සත්වෝද්‍යානය අසල පිහිටි ට්‍රොපිකල් ඉන් නමැති ලැගුම්හලේ සිටියදී බෝම්බයක් පුපුරාවාගෙන සියදිවි නසාගත් පුද්ගලයා අබ්දුල් ලතීෆ් ජමාල් නමැත්තෙකු බවට හඳුනාගෙන ඇති අතර, ඔහු මහනුවර, වැල්ලම්බඩ ප්‍රදේශයේ පදංචිකරුවෙකු බවද පැවසේ.
ඔහු 2013 වසරේදී මහනුවර ප්‍රදේශයේ සිට කොළඹ ප්‍රදේශයට පැමිණ ඇති අතර, කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක නවාතැන් ගෙන ඇතැයි වාර්තා වේ.
එමෙන්ම අවස්ථා කිහිපයකම ඔහු දෙමටගොඩ, මහවිල පාරේ බෝම්බ පිපිරීම සිදුවූ නිවසේ නවාතැන් ගෙන ඇති බවත්, එම නිවසේ පදිංචිකරුවන් සමග සබඳතා පවත්වා ඇති බවත් සඳහන් වේ. මෙම පුද්ගලයා ආගමික අන්තවාදියකු ලෙස කටයුතු කරන්නෙකු බවත්, රාජ්‍ය බුද්ධි සේවය විසින් ඔහුගේ ඡායාරූපද සහිතව වාර්තා කර ඇති බවත් පැවසේ.
ප්‍රහාරය සිදු කළ දිනට පෙර දිනයේදී ඔහු කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ නවාතැන් ගෙන ඇති අතර, ප්‍රහාරය සිදුවූ දින හෝටලයෙන් ඉවතට ගොස් තිබේ.
මෙම පුද්ගලයා ටාජ් හෝටලයේ පිපිරිමක් සිදු කිරිමට හෝ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි අයෙකු බවට සැකකරයි. රාජ්‍ය බුද්ධි සේවය විසින් අප්‍රේල් මාසයේ මුල් සතියේදී නිකුත් කර තිබූ බුද්ධි වාර්තාවේද කතෝලික පල්ලිවලට අමතරව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට සඳහන් කර තිබිණි.
කෙසේ වෙතත් මෙම පුද්ගලයාගේ ඉලක්කය වෙනස් වීමෙන් පසුව දෙහිවල ට්‍රොපිකල් ඉන් නමැති ලැගුම්හලට පැමිණ කාමරයක් කුලියට ගෙන තිබේ. ඔහු කාමරයක් කුලියට ගෙන ගමන් මලු කාමරයේ රඳවා ලැගුම්හලින් පිටතට ගොස් නැවත පැමිණ සවස 2.45ට පමණ බෝම්බය පුපුරුවාගෙන සියදිවි නසාගෙන ඇතැයි පරීක්ෂණ කණ්ඩායම් සඳහන් කරයි.
මේ අතර, මරාගෙන මැරෙන ප්‍රහාර දියත් කළ ත්‍රස්ත සාමාජිකයන් 06 දෙනෙකු පැමිණ ඇත්තේ පානදුර, කෙසෙල්වත්ත රෂීක් මාවතේ පිහිටි නිවසකින් බවද හෙළිව තිබේ. ඔවුන් 06 දෙනාගෙන් සිවුදෙනෙකු පසුගිය 20 වැනිදා එම නිවසින් පිටත්ව ඇති අතර, දෙදෙනෙකු කොළඹ ෂැංග්‍රිලා හෝටලයේද, තවත් දෙදෙනෙකු සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ හා කිංස්බරි හෝටලයේද නවාතැන්ගෙන ඇතැයි පැවසේ. ත්‍රස්ත සාමාජිකයන්ට එම හෝටල් තුනේ නවාතැන් ගැනීමට අවශ්‍ය වෙන්කිරීම සිදුකළ ඇත්තේ ෂැංග්‍රිලා හෝටලයේ ප්‍රහාරයට සම්බන්ධ වූ ඉන්සාන් සීලවන් බවද ප්‍රකාශ වේ. ඊයේ දිනයේදී කොටහේන පල්ලිය අසල බෝම්බයක් සමග හමු වූ වාහනයද මිලයට ගෙන ඇත්තේ ඔහුගේ නමින් බව වාර්තා වේ.
සෙසු ත්‍රස්ත සාමාජිකයන් දෙදෙනා ප්‍රහාරය සිදු වූ පෙරේදා (21දා) උදෑසන PI 9289 දරන වෑන් රථයෙන් කොළඹ කිංස්බරි හෝටලය අසලට පැමිණ තිබේ. අදාළ වෑන් රථය හා එය පැදවූ රියැදුරු වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ පාරේදී වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ත්‍රස්ත සාමාජිකයන් සිටි බව පැවසෙන පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේ සිට බෝම්බ නිෂ්පාදනය කර ඇතැයි බවට සැක කරන අතර, බෝම්බ නිෂ්පාදනයට යොදා ගන්නා ද්‍රව්‍ය කිහිපයක්ද හමුවී තිබේ.
දුමින්ද සංජීව බාලසූරිය