ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ සේවකයින් අද දින තවත් 08 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග අද දින වනවිට ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 65 දක්වා ඉහළ ගොස් ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .
මෙසේ කොරෝනා වෛරසය ආසාදිත සේවකයින් ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයෙන් සොයා ගැනීමත් සමගම , ආයතනයේ සියලුම සේවකයින් මේ වනවිට පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කර තිබේ .
එම පරීක්ෂණ වල ප්‍රතිඵල ඉදිරි දින වල දී නිකුත් වීමට නියමිත බව ද , ඒ අතර දැනට හදුනා ගෙන ඇති රෝගීන්ගේ ආශ්‍රිතයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙම උත්සව සමයේ පිටව යන මගීන් අතර කොරෝනා ආසාදිතයන් සිටීදැයි සොයා ගැනීම සදහා රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන මධ්‍යස්ථාන සංඛ්‍යාව තවත් 04 කින් වැඩි කර ඇති බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .
දැනට දංඕවිට සහ කොච්චිකඩේ තෝප්පුව පාලම අසළ පවත්වා ගෙන යනු ලබන පරීක්ෂණ මධ්‍යස්ථාන මග හරිමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජනතාව පිටව යෑමට උත්සාහ කරන නිසා , මෙසේ මෙම පරීක්ෂණ මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගෙන ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය .