ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ප්රථම විධායක සභා රැස්වීම අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද (25දා) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී රැස්විය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා සහ ශ්රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාද ඊට සහභාගි වූහ. ශ්රී ලංකා පොදුජන පෙරමුණ, ශ්රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, මහජන පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්රජාතාන්ත්රික වාමාංශික පෙරමුණ, දේශවිමුක්ති ජනතා පක්ෂය යන පක්ෂ මෙම අවස්ථාවට සහභාගී විය.
ආරම්භයේදීම අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ මෙම සන්ධානය තුළ පිළිගත් ලියාපදිංචි දේශපාලන පක්ෂ නවයක් දැනට ඇතුළත් ව ඇති බවත් පසුගිය මැතිවරණයේදී පොදු ජන පෙරමුණ සමඟ සන්ධානගත වූ අනිකුත් පක්ෂ ලියාපදිංචිය සම්පුර්ණ කළ විට ඊට ඇතුළත් කරගැනීමට කටයුතු කරන බවයි.
දැනට ප්රධාන පක්ෂ නවයක ප්රධානත්වයෙන් සන්ධාන ගතව ඇති ශ්රී ලංකා නිදහස් පොදුජන පෙරමුණු සන්ධානය තුළට නව දේශපාලන පක්ෂ පහක් ඇතුළත් කර ගැනීම සඳහා වූ යෝජනාවට විධායක සභාව මෙහිදී අනුමැතිය ලබා දෙන ලදී.
ඒ අනුව ඊලාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය,ලංකා කම්කරු කොංග්රසය,ජාතික කොංග්රසය, දෙමළ මහජන විමුක්ති සංවිධානය,එක්සත් මහජන පක්ෂය යන පක්ෂ ඉදිරියේදී ශ්රී ලංකා පොදුජන සන්ධානය නියෝජනය කරන පක්ෂ ලෙස මින් ඉදිරියට කටයුතු කරනු ඇත. මේ අනුව පක්ෂ 14 ක් ශ්රී ලංකා නිදහස් පොදුජන සංධානයට ඇතුළත් වේ.