ද්විපාර්ශ්වික උපායමාර්ගික හවුල්කාරිත්වය පුළුල් කිරීමට හා ගැඹුරු කිරීමට චීනය ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන බවත් චීනය සහ ශ්‍රී ලංකාව යනු සාම්ප්‍රදායිකව මිත්‍රශීලී අසල්වැසියන් බවත් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියෑන් දිනපතා මාධ්‍ය හමුවට එක්වෙමින් පැවැසීය.
එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව එරට නියෝජ්‍ය රාජ්‍යලේකම් ඩීන් තොම්සන් මහතා කළ ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ලිජියන් ඉහත අදහස් දැක්වීය.
තොම්සන් සඳහන් කර තිබුණේ වෙනස් කොට සැලකීම් සහ පාරදෘශ්‍ය භාවිතයන්ට පටහැනිව විනිවිද පෙනෙන හා තිරසාර ආර්ථික සංවර්ධනයක් සඳහා ලබා දෙන විකල්ප සමාලෝචනය කරන ලෙස එක්සත් ජනපදය ශ්‍රී ලංකාව දිරිමත් කරන බවත් දුෂ්කර නමුත් අවශ්‍ය තීරණ ගන්නා ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බවත්ය.
මෙම ප්‍රකාශය සඳහා තවදුරටත් පිළිතුරු දුන් මාධ්‍ය ප්‍රකාශකවරයා
“එක්සත් ජනපද නිලධාරියාගේ ප්‍රකාශ සීතල යුද්ධ මානසිකත්වය සහ ආධිපත්‍යවාදී මානසිකත්වයෙන් පිරී තිබෙනවා. එමඟින් වෙනත් රටවල දේශීය හා විදේශීය ප්‍රතිපත්තිවලට අත්තනෝමතික ලෙස මැදිහත් වීම සහ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ රටවලට පැති තෝරා ගැනීමට බල කිරීම යන එක්සත් ජනපද පුරුද්ද මුළුමනින්ම හෙළිකරනවා.
වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාව හා චීනය දෙරට සාමකාමී සහජීවනයේ මූලධර්ම පහ මත පදනම්ව ඔවුන්ගේ සබඳතා වර්ධනය කර ගෙන තිබෙනවා. චීන හා ශ්‍රී ලාංකික ජනතාවට පැහැදිලි ප්රතිලාභ ගෙන දෙමින් සමාන පදනමක් හා අන්‍යෝන්‍ය ප්‍රතිලාභයක් ලැබෙන අයුරින් දෙරට අතර මිත්‍රශීලී සහයෝගීතාවයක් පවත්වා තිබෙනවා.
චීනය විශ්වාස කරන්නේ ප්‍රමාණය නොසලකා සෑම රටකටම තමන්ගේ අවශ්‍යතා මත පදනම්ව විදේශ සබඳතා ස්වාධීනව වර්ධනය කර ගැනීමට අයිතියක් ඇති බවයි. රටවල්වලට එල්ල කරන පීඩනය හා බලහත්කාරය හරහා ද්විපාර්ශ්වීය සහයෝගීතායන් වලක්වාලීමට දරන උත්සාහයන් සාර්ථක නොවෙයි. එය ඉතිහාසය විසින් ප්‍රතික්ෂේප කරනු ලබන අතර ජාත්‍යන්තර ප්‍රජාව අවඥාවට ලක්කරන කොටස් බවට පත්වනු ඇත.” යනුවෙන් පැවැසීය.