ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ යුරෝපා සංගමය නියෝජනය කරන මෙරට තානාපතිවරුන් අතර හමුවක් අද (06) පෙවරුවේ ජනාධිපති කාර්යාලයේ දි පැවැත්විණි.
ඔවුහු යුරෝපා සංගමය වෙනුවෙන් පළමුව ජනාධිපතිතුමාට සහ නව රජයට සුභාශිංසන පළ කළහ.
ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දෙස ධනාත්මකව බලන ලෙස ජනාධිපතිතුමා යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය පැහැදිලි කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල්වලට ලොව අනෙකුත් රටවල් හා සමාන වේගයෙන් සංවර්ධනය වීම සඳහා උපකාර කිරිම කලාපීය බලඅධිකාරිත්වයට මුහුණ දීමේ ප්‍රශස්තම පියවර බව කියාසිටියේය.
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු, ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපති ජොන් රොඩේ , ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉතාලි තානාපති අලෙග්‍රා බයිස්ට්‍රෝචි, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති තන්ජා ගොන්ග්රිප්, ශ්‍රී ලංකාවේ රොමේනියා තානාපති වික්ටර් චියුජ්ඩේ යන මහත්ම මහත්මීහු සහ යුරෝපා සංගමයේ ශ්‍රි ලංකා දූත කාර්යාලයේ ඩෙනිස් චායිබ් මහතා ද හමුවට එක්ව සිටියහ.
සංවර්ධනය සහ බලය බෙදීම පිළිබඳව වැඩිදුර කරුණු දැන ගැනීමට නියෝජිත කණ්ඩායම උනන්දුවක් දැක්වීය. ඊට පිළිතුරු ලෙස ජනාධිපතිතුමා කියා සිටියේ දේශපාලන විසඳුම් සංවර්ධන ක්‍රියා පිළිවෙත සමග සමගාමීව ඉදිරියට යා යුතු බවයි.
නිදසුනක් ලෙස 13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අදහස් දක්වමින් එතුමා පෙන්වා දුන්නේ එහි අන්තර්ගත ඇතැම් විධිවිධාන ප්‍රායෝගික නොවන බවයි. ඒ වෙනුවට දේශපාලනඥයන් විසින් කළයුතු වන්නේ විකල්ප විසඳුම් සෙවිමයි. පළාත් සභාවලට පොලිස් බලතල ලබාදුණහොත් පොලීසිය දේශපාලනීකරණය වීම ජනාධිපතිතුමා උදාහරණයක් ලෙස ගෙන දැක්වීය. පොලිස් ස්ථානාධිපති දක්වා ධූරයන්ට පළාත් සභාවලට අයත් දිස්ත්‍රික්කවල ජනතාව පත් කිරිම වඩාත් ප්‍රායෝගික බව ජනාධිපති රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. එය භාෂාව හා සංස්කෘතික වෙනස්කම් හේතුවෙන් හටගන්නා ගැටලු විසඳීමට මගපාදනු ඇතැයිද එතුමා පැවසිය.
කෘෂිකර්මාන්තයට බලපාන ප්‍රධාන අභියෝගයක් වන්නේ දේශගුණික විපර්යාසයි. හරිතාගාර වැනි ක්‍රම පිළිබඳව ශ්‍රී ලංකාව විසින් තවදුරටත් කරුණු අධ්‍යයනය කළයුතු බව සඳහන් කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව රසායනික පොහොර භාවිතයේ සිට කාබනික පොහොර භාවිතය දක්වා විතැන් විය යුතු බව ද කියා සිටියේය. මෙය විවිධ වෙළෙඳපොළ ආකර්ෂණය කර ගැනීමට හේතුවක් වනු ඇත. මෙවන් පරිවර්තනයක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ පිළිකාකාරයක් සහ අපගේ ජල මූලාශ්‍ර දූෂණය විමේ එක් ප්‍රධාන සංඝටකයක් බවට රසායනික පොහොර සහ පළිබෝධ නාශක පත්වීම නිසා බව ද පැවසීය.
සිය අදහස් පළ කළ නෙදර්ලන්ත තානාපතිවරිය කාබනික කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර මේ වන විටිත් ඒකාබද්ධ ගිවිසුම් ක්‍රියාත්මක බව සඳහන් කළාය. කෙසේ වුවත් තානාපතිවරිය කියා සිටියේ පරිවර්තනීය කටයුතු සාර්ථක විමටනම් පරිපාලන අධිකාරින්ගෙන් දැනට වඩා සහයෝගයක් ගොවීන්ට ලැබිය යුතු බවයි.
දූෂණය පිටුදැකීමට, විනිවිදභාවය සහතික කිරීම, දක්ෂතාවට සහ හැකියාවට වටිනාකමක් ලබාදීම ජනාධිපතිවරයාගේ කැපවීම පිළිබදව නියෝජිත කණ්ඩායම සිය ප්‍රශංසාව පළ කළහ.
විශ්වාසවන්ත සහ දිගුකාලීන මිතුරෙකු වශයෙන් යුරෝපා සංගමය කෙරෙහි බලාපොරොත්තු තබා ගැනිමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇති බව ඔවුහු සඳහන් කළහ. යුරෝපා සංගම් සමාජිකයන් සමග විශ්වාසය වර්ධනය කර ගැනිමේ අත්‍යාවශ්‍ය සාධකයක් වන්නේ අවංක සහ කාර්යක්ෂම පරිපාලනය බව ද ඔවුහු සඳහන් කළහ.