ශ්‍රී ලංකාවේ දූෂිතම ආයතනය බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පත්ව ඇති බවත්, ඒපිළිබඳ වහාම පරීක්ෂණ සිදුකරන ලෙසත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු බොහෝ පිරිසක් පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියහ.
අයවැය කාරකසභා විවාදය යටතේ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ අදහස් දක්වමින් ඊයේ(25දා) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරු මේ බව පැවසූහ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සොරකම්, වංචා දැඩිලෙස සිදුවන බවත්, මේ සම්බන්ධයෙන් සොයාබලන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය.
එමෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා හිටපු ප්‍රවාහන ඇමති නිමල් සිරිපාල මහතාගේ නම විකුණමින් මුදල් ගසා කන බවද පාර්ලිමේන්තුමන්ත්රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සිදුකරන ඕනෑම පරීක්ෂණයකට සහාය දීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුවන දූෂණ වංචා සම්බන්ධයෙන් අදහස් දැක්වූපාර්ලිමේන්තු මන්ත්රිනීහිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය,
"ලංකාවේ දූෂිතම ආයතනය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව. මෙතැන වෙන්නේ ලැජ්ජනැති හොරකම්. පොඩි මිනිස්සුන්ගෙන් 1000, 2000 වගේ ගණනුත් හොරකම් කරනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියන්නේ රජයට මුදල් උත්පාදනය කරලා දෙන ආයතනයක්. නමුත් අදවනවිට රජයේ මුදල් විදෙස් රටවලට ගලාගෙන යන ප්‍රධානතම ආයතනය බවට මෙය පත්වෙලා.
එහි මූලික පුටුවල ඉන්න නිලධාරීන් තමයි හේතුව. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම්කාරක සභාවට කැඳෙව්වා. ඒ වුණත් එහි ප්‍රධානියා බොරු දේවල් කියා ප්‍රශ්නයෙන් මගහැරලා යනවා.
මෙට්‍රොපොලිටන් ආයතනය සමග රියදුරු බලපත්‍රය මුද්රණයකිරීමේ ක්‍රියාවලියක නිරතව සිටිනවා. 2009 මාර්තු 21 දිනයේදී තමයි මේ ක්‍රමය හඳුන්වාදුන්නේ. දකුණු අප්‍රිකාවේ සමාගමක් සමග මේ සම්බන්ධ ගිවිසුම අත්සන් කර තිබෙන්නේ. වසර 07කට මේ ගිවිසුම අත්සන් කර තිබෙන්නේ. වසර 07න් පසුව සියලුම දේපොළ රජයට පැවරිය යුතුයි කියා එකඟ වී තිබෙනවා. නමුත් මේවනවිට වසර 07 අවසන්වී වැඩිපුර වසර 03කුත් ගතවුණත් කිසිම විදිහකින් මේ දේවල් රජයට පවරලා නැහැ.
එහෙම නොකරන්නේ ඇයිකියලා හොයද්දි සේවකයෝ කියන්නේ ලොකු කොමිස් මුදලක් ආයතන ප්‍රධානියාගේ සාක්කුවට යනවා කියලා. මේ රියදුරු කාඩ්පතට පුද්ගලයකුගෙන් රුපියල් 1600ක් අයකරගන්නවා. එයින් රුපියල් 360ක් පමණයි රජයට ලැබෙන්නේ. දකුණු අප්‍රිකානු සමාගමට 1300කට වැඩි ප්‍රමාණයක් යනවා. මේ මුදල්වලින් වැඩි ප්‍රමාණය කොමිස්. ඒනිසාතමයි මේක රජයට පවරන්නෙ නැතිව ඉන්නේ.
ලංකාවේ සියලුම දිස්ත්‍රික් කාර්යාල ඔන්ලයින් ක්‍රමයට ඇතුළත් කරන්න මේ යටතේ සැලසුම් කර තිබුණත් මේවනවිට දිස්ත්‍රික්ක 09ක් පමණයි ඔන්ලයින් ක්‍රමයට ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මේ දිස්ත්‍රික්ක 25න්ම අයවිය යුතු මුදල ආයතන ප්‍රධානියා මේ සමාගමට ගෙවනවා. ඒවගේම වසර 07කින් පසුව දෙපාර්තමේන්තුවේ සේවකයන්ට මේ පිළිබඳ පුහුණුව දිය යුතු වුණත් මේ වනතුරු දෙපාර්තමේන්තුවේ සේවකයන්ට පුහුණුල ලබාදීමට ආයතන ප්‍රධානියා කටයුතු කර නැහැ.
වාහන අංක තහඩු පිළිබඳවත් දූෂණයක් සිදුවෙනවා. ලංකාවේ අංක තහඩු නිෂ්පාදනය ජර්මනියේ UTACH කියන ආයතනය මගින් සිදුකරන්නේ. මේවනවිට ත්‍රිරෝද රථ සඳහා රුපියල් 3000, යතුරුපැදි සඳහා රුපියල් 2000ක් සහ මෝටර් රථවලට රුපියල් 3000ක් බැගින් අයකරනවා. මේගිවිසුම ඉවරවෙලා වසර 02ක් ගත වුණත් එය දේශීය ව්‍යවසායකයෙකුට ලබාදීලා නැහැ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරියා මේ මුදල් ගසාකද්දි සේවකයන්ට, නිලධාරීන්ට කියන්නේ ටිකක් වැඩිපුර ගාණක් හොයන්න නිමල් සිරිපාල ඇමතිතුමාටත් දෙන්න ඕන කියලා. නිමල් සිරිපාල ඇමතිතුමා මේවගේ තුට්ටුදෙකේ වැඩකරන්නේ නැහැ කියලා මම අනිවාර්යයෙන් දන්නවා. මේක බොරු නම් සේවකයෝ සාක්ෂි දෙයි. ඒනිසා මේගැන වහාම පරීක්ෂණයක් කරන්න කියා මම ඉල්ලා සිටිනවා" යැයි පැවසුවාය.