චීන තානාපති කාර්යාලය ශ්රී ලංකාවේ අදාළ දෙපාර්තමේන්තු සහ රජයේ ආයතන සමග පූර්ණ සහයෝගයෙන් කටයුතු කර ඵලදායී පූර්වෝපායන් අනුගමනය කරමින්, ශ්රී ලංකාව සහ එහි ජනතාව කොරෝනා වසංගතයෙන් ආරක්ෂා කිරීමට ගත හැකි සෑම උත්සාහයක්ම දරන බව ශ්රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
කොරෝනා වසංගත තත්ත්වය කෙරෙහි දැඩි අවධානයක් යොමුකර ඇති චීන බලධාරීන් එය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා උපරිම පියවර ගෙන ඇති බවට නිවේදනයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය මෙසේ පවසයි.
ඒ අනුව, වසංගතය නිසා වැඩි අවදානමකට ලක්ව ඇති හා වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇති චීනයේ නගරවලට ඇතුළුවීම සහ පිටවීම චීන රජය විසින් තාවකාලිව නවතා ඇති බව පවසන තානාපති කාර්යාලය, කණ්ඩායම් වශයෙන් සිදුකරනු ලබන සංචාරයන් (outbounding group) චීනය විසින් අත්හිටුවා ඇති බවද කියයි.
චීනයේ සිට ශ්රී ලංකාවට පැමිණෙන සංචාරක කණ්ඩායම් සම්බන්ධයෙන් මනා අවධානයෙන් පසුවන චීන රජය, සැකසහිත උණ රෝගීන් පිළිබඳව වාර්තා කර ඔවුන් හැකි ඉක්මනින් රෝහල්ගත කිරීමටත්, කණ්ඩායමේ අනෙකත් සාමාජිකයන්ගෙන් සංචාරයෙන් වැලකී නිරෝධායන ක්රියාවලියකට ලක්වන ලෙස ඉල්ලා සිටීමටත් කටයුතු කර තිබේ.
එමෙන්ම චීන තානාපති කාර්යාලය උණ රෝගීන් සහ රෝගීන් සම්බන්ධ තොරතුරු ශ්රී ලංකා බලධාරීන්ට ලබාදී ඇති බවද සඳහන් කරයි. මීට අමතරව වසංගතයෙන් පීඩාවට පත් ප්රදේශවලින් දැනටමත් ශ්රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන්ගෙන්, ඔවුන්ගේ සැලසුම් අවලංගු කර ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින නිවේදනය කඩිනමින් චීන තානාපති කාර්යාලය විසින් නිකුත් කර ඇති බවද පෙන්වා දෙයි.
ඉන් නොනැවතී හුබෙයි පළාත ඇතුළු වසංගත රෝගයට ගොදුරු වූ ප්රදේශවල සිට ශ්රී ලංකාවට පැමිණිමේ සැලසුම් ඇති සංචාරකයන්ට එම සැලසුම් කල් දමන ලෙස හෝ අවලංගු කරන ලෙසද චීන තානාපති කාර්යාලය උපදෙස් ලබාදී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.