ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 50ක ණය ඇපකර නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. ඒ සඳහා වන අනුමැතිය පසුගියදා කැබිනට් මණ්ඩලය විසින් ලබා දී තිබෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
පසුගිය කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය සුරක්ෂණය සඳහා මහා භාණ්ඩාගාරයේ ඇමති මණ්ඩල අනුමැතිය ඇතිව ණය ඇප කර ලිපි 08ක් හා භාණ්ඩාගාර ඇප කර 02ක් නිකුත් කර තිබේ. ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකන් සමාගම ලබා ගෙන ඇති සමස්ත ඇමෙරිකානු ඩොලර් ණය පහසුකම්වල වටිනාකම ඩොලර් මිලියන 205.38 කි. එය ශ්‍රී ලංකා රුපියල් ණය පහසුකම්වල වටිනාකමින් රුපියල් බිලියන 27.60 කි.
ලංකා බැංකුව හා මහජන බැංකුව විසින් ලබා ගත් මෙම ණය පහසුකම් හිමි කරගෙන ඇත්තේ කෙටිකාලීන හා ප්රාග්ධනීකෘත පොළී පහසුකම් ලෙසයි.
එහිදී රාජ්‍ය බැංකු හරහා ලබා ගත් මෙම ණය පහසුකම්වලට අමතරව 2024 ජූනි මාසයේදී ආපසු ගෙවිය යුතු වසර 05ක ජාත්‍යන්තර බැඳුම්කරයක් මාර්ගයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 175ක අරමුදලක් සම්පාදනය කිරීම සඳහා වූ ඇප සහතිකයක්ද ශ්‍රී ලංකා රජය විසින් පසුගිය කාලයේදී නිකුත් කර තිබේ.
මේ තීරණය සම්බන්ධයෙන් කරුණු දක්වන අමාත්‍යවරයා, ජාතික ගුවන් සේවයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පසුගිය කොරෝනා සිදුවීමෙන්ද තහවුරු වූ බව පෙන්වා දෙයි. ඒ අනුව ජාතික ආයතන සුරක්ෂිත කිරීමේ රජයේ ප්‍රතිපත්තිය මත මෙම ණය ඇප කර නැවත නිකුත් කිරීමට රජය තීරණය කළ බවද කියා සිටියි.