ශ්‍රීපාද අඩවියට දිගින් දිගටම ජල බෝතල් රැගෙන ගොස් හිස් බෝතල් මුදාහැරීම නිසා දැඩි පාරිසරික ගැටලු ගණනාවක් ඇති වී තිබෙන බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.
මීට අමතරව ෂොපින් බෑග්, ලන්ච් ෂීට් පවා අධික ලෙස පරිසරයට මුදාහරිමින් තිබෙන බවත්, මෙම ක්‍රියා නිසා ලංකාවේ ප්‍රධාන ගංගා හතරම අපවිත්‍ර වෙමින් තිබෙන බවත් එම සංවිධානයේ විධායක අධ්යක්ෂ හේමන්ත විතානගේ මහතා පැවසීය.
මේ නිසා සිරිපා වන්දනාවේ යන සියලු දෙනාම රැගෙන යන ප්ලාස්ටික් බෝතල්, ලන්ච් ෂීට්, ෂොපින් බෑග් නැවත රැගෙන එන ලෙසත්, එසේ කිරීමට නොහැකි නම් එම ද්‍රව්‍ය රැගෙන නොයන ලෙස සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු පවසා සිටියේය.
ශ්‍රීපාද අඩවියට බැහැර කරන කැළි කසළ පරිසරවේදීන් හා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වු පිරිස් ඉවත් කරමින් තිබෙන බවත්. දිගින් දිගටම මෙම කටයුතු සිදුකළ නොහැකි බවත් විධායක අධ්යක්ෂවරයා සඳහන් කළේය.
මේ නිසා මුලින්ම ශ්‍රීපාද අඩවිය අවට ප්‍ර‘දේශවල ප්ලාස්ටික් ජල බෝතල්, ලන්ච් ෂීට්, ෂොපින් බෑග් අලෙවි කිරීම නවතා දැමීමට වැඩපිළිවෙළක් අවශ්‍ය බවද හේමන්ත විතානගේ මහතා ප්‍රකාශ කළේය.
මීට අමතරව රටට, පරිසරයට ආදරය කරනවා නම් ජනතාව පරිසරයට හානි වන කිසිදු දෙයක් ශ්‍රීපාද අඩවියට රැගෙන යෑමෙන් වැළකී සිටිය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.
පරිසරයට කැළි කසළ බැහැර කරන රටවල් අතර ශ්‍රී ලංකාව මේ වනවිට 04 වැනි ස්ථානයට පත්වී තිබෙන බවත්, රටක් ලෙස මෙය ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් බවත් හෙතෙම පවසා සිටියේය.
මෙම තත්ත්වයෙන් ඉවත්වීමට නම් මුලින්ම ශ්‍රීපාද අඩවියට කැළි කසළ මුදාහැරීම නවතා දැමීමට හෝ ජනතාව කටයුතු කළ යුතු බවද හේමන්ත විතානගේ මහතා සඳහන් කළේය.