වාහන නියාමනය පිළිබඳ නව ජාතික ප්රඥප්තියක් සකසන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පසුගිය 04 වන දින පැවති එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.
ඒ සඳහා උපදේශක කාරක සභාවක් ද පත් කර තිබේ.
වාහන නියාමනයට අදාළ කටයුතු මධ්‍යම රජය සහ පළාත් සභා ඒකාබද්ධව ක්‍රියාත්මක කළ හැකිවන පරිදි නව ජාතික ප්රඥප්තිය සකසන බව ද අමාත්‍යවරයා කීවේය.
රට තුළ පවතින සියලු ප්‍රවාහන සේවා නියාමනයට හැකිවන පරිදි නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ. මාර්ගවල ධාවනයට සුදුසු පරිදි, වාහන ප්‍රමිතියකින් යුතු ද යන්න සොයා බැලීම වාහන නියාමනය පිළිබඳ නව ජාතික ප්රඥප්තියේ ප්රමුඛ අරමුණ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කාරක සභාවේ දී පැවසීය.
වාහන නියාමනය පිළිබඳ නව ජාතික ප්රඥප්තියට අදාළ පසුබිම් අධ්‍යයනය මේ වන විට සිදුකර අවසන් බව හෙතෙම කීවේය.
දිවයින පුරා සිටින ත්‍රීරෝද රථ රියදුරන්ට හැඳුනුම් පතක් ලබා දීම සුදුසු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය කාරක සභාවේදී යෝජනා කළ අතර, එය ද නව ජාතික ප්රඥප්තියට ඇතුළත් කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ග්‍රාමීය බස් සේවාව වැඩි දියුණු කිරීම සඳහා ද වත්මන් රජය නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පැවසූ අමාත්‍ය ගාමීණි ලොකුගේ මහතා තෝරාගත් අඩු පහසුකම් සහිත ඩිපෝ කාර්යාල 10 ක් නවීකරණය කරන බව ද පැවසීය.