මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා ඉගිණියාගල සේනානායක සමුද්‍රය ඉදිකිරීමෙන් පසුව වසර 65 කට පමණ පසුව එහි ජලමට්ටම පළමු වතාවට අඩි 25.5 දක්වා අඩුවී තිබෙන බවත්, එය අක්කර අඩිවලින් ගණනය කිරීමේදී ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 12,500 දක්වා අඩුවී ඇති බවද වාරිමාර්ග දෙපාර්මේන්තුව පවසයි.
ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ මුළු ජල ධාරිතාව අක්කර අඩි 7700000 ක් වන අතර සේනානායක සමුද්‍රයේ ජලය අක්කර අඩි 757500 ක් අඩුවී ගොස් තිබෙන බව එම දෙපාර්තමේන්තුව පෙන්වයි.
මේ හේතුව නිසා ඉදිරියේදි ජලය ප්‍රයෝජනයට ගත හැක්කේ බීමට පමණක් බව අම්පාර වාරිමාර්ග ඉංජිනේරු අමරජීව ලියනගේ මහතා පැවසීය.
පවතින තත්ත්වය අනුව වී ගොවියන් සහ උක් ගොවියන් මහත් අපහසුතාවට පත්ව තිබේ. වී වගාවට මේ දිනවල ජලය අවශ්‍ය නැතත් උක් වගාවට ජලය අවශ්‍ය බවත්, ඉදිරියේදී උක් වගාවට වතුර ගැනීමට නොහැකි වුවහොත් වගාවට දැඩි ලෙස බලපාන බවද ගල්ඔය වැවිලි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි සුරාත් පෙරේරා මහතා පැවසීය.
ඉගිණියාගල සේනානයක සමුද්‍රයේ ජල පෝෂක ප්‍රදේශයට වැසි නොලැබිම නිසා මේ තත්ත්වය උදාවී තිබෙන අතර, ඉදිරියේදි වැසි නොලබුන හොත් ඉදිරි කන්නයේ වීවගා කිරීම මුළුමනින්ම නැවැත්වීමට සිදුවන බවද වාරිමාර්ග දෙපාර්මේන්තුව පවසයි.
කෙසේ වෙතත් ඉදිරියේදි ප්‍රමාණවත් අයුරින් වැසි ලැබෙයි යන විශ්වාශය පවතින බවද අම්පාර වාරිමාර්ග ඉංජිනේරැ අමරජීව ලියනගේ මහතා පැවසීය.
ඉගිණියාගල සේනානායක සමුද්‍රය යටතේ කුඹුරැ අක්කර 125000 වගා කිරීමට මුලිකව සැලසුම් කර තිබුනත් අද වෙනවිට එය වැඩිවීම නිසා ජලාශයේ වතුර අඩුවෙන බව ගල්ඔය වම් ඉවුර ව්‍යාපාරික ගොවි සංවිධානයේ සභාපති සී.එච්.කුමාර මහතා පැවසිය.
පවතින තත්වය මත ගොවින් ගේ අනාගත ඉරණම අසතුටුදායක තත්වයක පවතින අතර සේනානායක සමුද්‍රය ඉදිකිරිමෙන් පසුව මෙතරම් ජලය අඩුවු අවස්ථාව මෙය නිසා සේනානායක සමුද්‍රය වසර 65 ක කාලයකදි ගොඩවි ඇත්නම් ඒ පිළිබඳව සොයා බලා පියවරක් ගැනිම රජයේ යුතුකම බව ද ඔහු සඳහන් කළේය. එසේ නොවුණොත් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව දැඩි අපහසුතාවයට පත්වෙන බවද පැවසිය.
අම්පාර වසන්ත චන්ද්‍රපාල