කොවිඩ්-19 වසංගතය රුසියාවේ මොස්කව් සහ අනෙකුත් නගරවල ශීඝ්‍රයෙන් පැතිරයාමත් සමග ජනතාව දුරස්ථව වැඩ කිරීමට පෙළඹෙමින් නගරයෙන් ඉවත්වීම නිසා මනරම් රුසියානු ගම්මානයක පදිංචිකරුවන්ට ඔවුන්ගේ භූමියේ වටිනාකම හැටියේම දෙගුණයකටත් වඩා ඉහළ ගොස් තිබේ.
ක්‍රස්නායා පොලියානා (රතු තණබිම්) යනු කළු මුහුද අසල කඳුකරයකින් වටවී ඇති වීදි පහකින් යුතු සුන්දර ගම්මානයකි. මෙම ගම්මානයේ හරිත වර්ණ කඳු වළල්ල මෙන්ම, ඉතාම පිරිසුදු තත්ත්වයේ නළ ජලය, නැවුම් වාතය සහ විසල් නිල් අහස නිසා වසංගතයට ස්තූති වන්නට මොස්කව්හි නොපැහැදිලි බව දැන් බොහෝ දෙනෙකුට ඔප්පු වී ඇත.
මෙම ගම්මානයේ පදිංචිකරුවන් 5,000ක් සිටින අතර එය රුසියාව වැනි විශාල රටක සාමාන්‍ය දෙයකි. නමුදු මේ ගම්මානය වෙනත් පිටිසර ගම්මානවලින් වෙනස්ව, නව තාක්ෂණය සමග යා වෙමින්, වේගවත් වයිෆයි සබඳතාවලින් මෙන්ම, කැෆේ, අවන්හල්, පබ් ඇතුළු ජනතාවට විනෝදයෙන් කාලය ගත කිරීමට අවැසි පහසුකම්වලින්ද යුතුය.
රුසියානු ඉඩම් මිල වර්ග මීටර් 100ක් හෙවත් සොට්කි වලින් තක්සේරු කෙරේ. වසංගතයට පෙර ක්‍රස්නායා පොලියානා හි සෝට්කි එකක මිල රුසියානු රුබෙල් මිලියන 2 සිට දැන් රුබෙල් මිලියන 5ක් (ඩොලර් 68,000) දක්වා ඉහළ ගොස් ඇති බව දේශීය විකුණුම් නියෝජිත නිකොලායි රොගචෙව් පැවසීය.
විදේශීය සංචාරක විකල්ප සීමිත වනවිට ඇති දැඩි ඉල්ලුම හේතුවෙන් 2021 අවසන් වනවිට එය රුබෙල් මිලියන 7ක් දක්වා ඉහළ යනු ඇතැයි ඔහු සඳහන් කළේය.
තවත් දේපළ වෙළඳාම් නියෝජිතයෙකු පැවසුවේ ගමේ ඕනෑම ආකාරයක දේපලක් සඳහා මෙසේ නගරවාසීන්ගේ ඉල්ලුම ඉහළ යෑමට මෙම වසංගත කාලය තුළ ඔවුන් මෙහි ගත කිරීමේදී ලැබූ සමාජීය ගුණාත්මකභාවයද හේතු වී ඇති බවය.
සියාන් දේපල වෙළඳාම් දත්ත ගබඩාවට අනුව ගමේ ඇතැම් නිවාසවල මිල රුබෙල් මිලියන 40 සිට 900 දක්වා වෙනස් වී ඇත. සාමාන්‍ය රුසියානුවන්ට වඩා නගරවල ධනවතුන්ගෙන් වැඩි ඉල්ලුමක් ලැබීම නිසා මෙසේ මිල ගණන් ඉහළ මට්ටමක පවතින බවද සඳහන් විය.
එසේම දුරස්ථව වැඩ කිරීමට නගරයෙන් පළාවිත් කුලී පදනම මත මෙහි ගතකරන්නන්ගේද ඉහළ ඉල්ලුම නිසා ක්‍රස්නායා පොලියානා නගරයේ කුලී මිල ගණන්ද ඉහළ ගොස් තිබේ. මෙම ගම්මානයේ සිට ගුවන්තොටුපළට මිනිත්තු 40ක ධාවනයක් පවතින අතර, කඳු තරණයට උනන්දුවක් දක්වන අය වෙනුවෙන්ම කඳුකර මංපෙත් රැසක් මෙම ගම්මානයෙන්ම ආරම්භ වෙයි.
මොස්කව්හි දත්ත විශ්ලේෂකයෙකු වන කිරිල් රිෂොන්කොව් පැවසුවේ කඳුකර මංපෙත් තරණය කිරීම සහ සවස් වරුවේ සුන්දර ස්ථානයක සැහැල්ලු කතාබහකට අවස්ථාව ලැබීම ගැන තමා වඩාත් සතුටු වන බවයි.
විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ බොහෝ පිරිසක් මේ වෙත ආකර්ෂණය වීම නිසා වසංගතය වර්ධනය වන ආකාරය නොසලකා ක්‍රස්නායා පොලියානා රුසියානු සිලිකන් නිම්නයක් බවට පත්වනු ඇතැයිද එහි මුල් පදිංචිකරුවෝ පවසති.