වවුනියාව ඕමන්ත කෝවිල්කුංචි කුලම් ප්රදේශයේ පැරණි ළිඳක් තුල තිබී මෝටාර් උණ්ඩ 14 ක් සොයාගත් බවට ඕමන්ත පොලීසිය පවසයි.
කෝවිල් කුංචිකුලම් ප්රදේශයේ ගොවියෙකු විසින් වගා කටයුත්තක් සඳහා සිය පැරණි ළිඳ පිරිසිදු කිරීමට ගත් උත්සාහයකදී ළිඳ තුල තිබී පැරණි මෝටාර් උණ්ඩ කිහිපයක් මතු වී ඇති අතර ඒ පිළිබඳව ඕමන්ත පොලීසියට දැනුම් දී ඇත.
අදාල මෝටාර් උණ්ඩ පිළිබඳව ඕමන්ත පොලීසිය විසින් වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට දැනුම් දීමෙන් අනතුරුව වවුනියාව මහේස්ත්රාත් අධිකරණ නියෝගයකට අනුව ළිඳ තුලින් ගොඩගනු ලැබීය.
එහිදී මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 14ක් තිබී අතර යුද සමයේදී කොටි සංවිධානය විසින් ළිඳ තුලට දමා යන්නට ඇති බවට පොලීසිය සැක පල කොට සිටි අතර ගොඩගත් මෝටාර් උණ්ඩ නිෂ්ක්රීය කිරීමටද වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පියවර ගනු ලැබීය.