විල්පත්තුව, සිංහරාජය හා නකල්ස් යන රක්ෂිත, මේ වනවිට විනාශ කර දමමින් තිබෙන බවත්, එම වන විනාශයන් නතර කිරීමට, රජය වහාම පියවර ගත යුතු බවත් පවසමින්, සංඝරත්නය හා තරුණ පිරිස් එක්ව, ඊයේ (30දා) අනුරාධපුර නගරයේ දී, දැවැන්ත විරෝධතා පා ගමනක නිරත වූහ.
අනුරාධපුර නව නගරයෙන් ආරම්භ කෙරුණු මෙම විරෝධතා පෙළපාලියේ පැමිණි පිරිස් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් හා වන විනාශය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදමින්, අනුරාධපුර ඩී.එස්. වටරවුම, බැංකු පෙදෙස, මාර්කට් පෙදෙස හරහා අනුරාධපුර පරණ බස් නැවතුම්පොළට ගමන් කළහ.
මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක හා අමාත්‍ය රිෂාඩ් බදුර්දින් යන මහත්වරුන්ගේ අනු රූ, නිර්මාණය කරමින් සැරසී සිටි කිහිප දෙනෙකු විරෝධතා පෙළපාලිය ඉදිරියෙන්ම ගමන් කළ අතර, පසුව මහා සංඝරත්නය විසින් අනුරූ වලින් සැරසී සිටි එම දේශපාලනඥයන්ට හා, අනුරාධපුර නගරයේ ජනතාවට කුඹුක්, මී, කරද වැනි පරිසර හිතකාමී පැල බෙදා දීමක් ද මෙහිදී සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ අපි මිතුරෝ සංවිධානයේ සභාපති, ජඹුරේවෙල චන්ද්‍රරතන හිමිපාණන්,
" මේ රටේ සිදු කෙරෙන පරිසර සංහාරයට විරුද්ධව ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහනක් තමයි අද මේ අනුරාධපුර නගරයේ දී සිදු කරනු ලබන්නේ. විදුලිබල ඇමති තුමාට, ජල සම්පාදන ඇමති තුමාට, අපි කියනවා වැස්ස ඉබේ පහළ වෙන්නේ නෑ කියලා. වැසි වසින්න නම් මේ රටේ වනාන්තර ගහ කොළ තියෙන්න ඕන.
මේ රටේ ගහ කොළ, වනාන්තර කපලා දැමුවාට පස්සේ අපට ජලය හා විදුලිය නැති වෙන බව ඔවුන් දැන ගත යුතුයි. මේ වනවිට නකල්ස් රක්ෂිතය, සිංහරාජ වනාන්තරය, විල්පත්තු අභයභූමිය හා පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යාන වල ගස් කපා දමමින් වනය විනාශ කරමින් තිබෙනවා. දේශපාලනඥයින් එකතු වෙලා රටේ ප්‍රධාන වනාන්තර විනාශ කරමින් තිබෙන අවස්ථාවක් තමයි මේක.
වන විනාශයක් පමණක් නොවේ, මේ වන විට රටේ පුරා විද්‍යා සංහාරයක් සිද්ධ වෙනවා. බරපතළ ස්වභාවික සම්පත් විකිණිමේ සංහාරයක් සිද්ධ වෙනවා. මේ හැම දෙයක්ම අපේ ජීවිතයට සම්බන්ධයි.
මේවට විරුද්ධව ද මේ තරුණ පිරිස් එක් වීම ලොකු ශක්තියක්. තමන්ගේ පාලන කාලය තුළ වනාන්තර කැපුවේ නැහැ, ඊට පෙර තමයි කියලා කියවන්න පුළුවන් නම්, ඒ කාලේ හිටපු එම නිලධාරීන් මේ වනවිට අත්අඩංගුවට ගන්න ඕනේ. එහෙම නැතිව එකිනෙකාට දොස් පවරලා වැඩක් නැහැ. වැරදි කාරයො දැන ගෙනත් නීතිය අවභාවිතා කරලා තියෙනවා”.