වැලිඔය නිකවැව දකුණ ප්රදේශය් පිහිටි සිංහල වැසියන් විසින් වැඳුම් පිඳුම් කරනු ලැබූ දේව පිළිමයක් අතුරුදහන් වී ඇති බවට වැලිඔය පොලීසියට අද (28) දින පැමිණිල්ලක් දැමූ බවට නිකවැව දකුණ වැසියෝ කියා සිටිති.
නිකවැව දකුණ ප්රදේශයේ පිහිටි පුල්ලයාර් කෝවිලේ පිහිටි පුල්ලයාර් දේව පිළිමය මෙසේ අතුරුදහන් වී ඇති අතර අදාළ පිළිමය ඉන්දියාවේ සිට මීට වසර ගණනාවකට පෙර රැගෙන ආ බවටත් එම පුල්ලයාර් දේව පිළමය ඉතා වටිනා පිළිමයක් බවටද ප්රදේශවාසීහු පැවසූහ.
වැලිඔය ප්රදේශයේ වැසියන් ගොවිතැන් කිරීමෙන් පසුව සියලුම ගොවියන් විසින් පළමු සහල් වෙන්කරනු ලබන්නේ පුල්ලයාර් දෙවියන් වෙනුවෙන් වන අතර වී අස්වැන්න නෙලීමෙන් පසුව පාරම්පරිකව සියලුම ගොවීන් එක්ව පුල්ලයාර් දෙවියන් වෙනුවෙන් කිරිබත් සාදා පුද පූජා කිරීම වසර ගණනාවක සිට පැවත එන්නකි.
අදාළ දේව පිළිමය ඊයේ (27) රාත්රියේ සිට අතුරුදහන් වී ඇති බවටත් එය කිසියම් පිරිසක් විසින් සොරාගෙන යන්නට ඇති බවට තමන් සැක පළ කරන අතරම දේව පිළිමය රැගෙන ගිය පිරිස් වහාම අත්අඩංගුවට ගත යුතු බවටත් දේව පිළිමය නොමැති වීමෙන් ප්රදේශවාසීන් දැඩි කනස්සල්ලට පත්ව ඇති බවටද වැලිඔය නිකවැව දකුණ වැසියෝ වැඩි දුරටත් පැවසූහ.