වරාය නගරය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවට අයිති ව්‍යාපෘතියක් බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ වරාය නගර ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම පිළිබඳව සහ එහි ප්‍රගතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
එම මාධ්‍ය හමුව පෙරේදා (01) දින බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
“වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව විශාල විරෝධතා, උද්වේගකර ආකාරයේ ප්‍රතිචාර ඇතිවුණා. මෙම වරාය නගරය පිළිබඳ අදහස මුලින්ම ඇතිවුණේ 2001-2002 රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ කාලයේ සෙස්මා නැමති සැලසුමෙන්. ඊට කලින් කලම්බු මෙට්‍රො පොලිටන් ප්ලෑන් එක මගින් දැන් තිබෙන වරාය ඇතුළේ පැරණි ජැටිය අයින් කර අලූත් ජැටි හදලා වරාය නගරයක් නිර්මාණය කිරීමට සැලසුමක් තිබුණා.
මුහුද ගොඩකර වරාය නගරය නිර්මාණය කිරීමේ අදහස ආවේ 2001-2002 කාලයේදී. ඒ සැලසුම අනුව තමයි චයිනා කන්ස්ට්‍රක්ෂන් කොමියුනිකේෂන් කොන්සෝටියම් කියන ආයතනය ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක් ආයෝජනය කර මෙම වැඩපිළිවෙල ආරම්භ කළේ. එනමුත් එය විරෝධතා නිසා සහ රජයේ වෙනස්වීම නිසා ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාමට නොහැකි උනා.
මෙමගින් රටේ ස්වෛරී අයිතියක් විදේශිකයන්ට පැවරෙන්න යන බව තමයි ප්‍රධාන චෝදනාව වූයේ රටක් ඇතුලේ තව රටක් පවත්වාගෙන යනවාය කියලා.
2014 වරාය අධිකාරියත් සමග ක්‍රියාත්මක කිරීමට ගිය මෙම ව්‍යාපෘතිය රජය මගින් නාගරික සංවර්ධන අධිකාරියට භාර දීමට කටයුතු කළා. ඒ අනුව අප විසින් ආදාළ චීන සමාගම සමග සාකච්ඡා කර මෙම ගිවිසුම නිශ්චිතව වෙනස් කළා. සින්නක්කරව ඉඩම් ලබාදීමට තිබූ වගන්ති ඉවත් කර සියලූම ඉඩම් ශ්‍රී ලංකා රජය සතු විය යුතුයි කියලා තීරණය කළා. ඒ වගේම දෙන ලද ඉඩම් 99 අවුරුදු බදු හැටියට ලබාදීමටත්, සියළුම ඉඩම් රජය සතු කර ගැනීමටත් අප තීරණය කළා.
දැනට ගොඩකර තිබෙන වරාය නගර භූමි ප්‍රදේශය වන හෙක්ටයාර 269 ක් වගේම කෘතිමව සාදා තිබෙන ජල තටාංගනය ඇතුළු ප්‍රදේශය ගත්තහම හෙක්ටයාර 446කට ආසන්න ප්‍රමාණයක්. ඒ කියන්නේ අක්කර 1000 කට ආසන්න ප්‍රමාණයක්. මේ සියල්ලම අද ශ්‍රී ලංකා රජයේ නාගරික සංවර්ධන අධිකාරියට අයිති වස්තුවක්. ඒ අනුව සින්නක්කරව හෝ වෙනයම් ආකාරයකට, කිසිම ආකාරයකට විදේශිකයන්ට කිසිම මූලික අයිතියක් නැහැ, මූලික අයිති ශ්‍රී ලංකා රජයට.”