වරායේ ගබඩා තුළ දැනට රඳවා තිබෙන ආහාර ද්‍රව්‍ය ඇතුළත් සියලුම බහාළුම්වල ඇති ආහාර තොග නිදහස් කිරීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සමග කළ සාකච්ඡාවක දී අනාවරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
දැනට රට තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇතැම් ආහාර ද්‍රව්‍යවල හිඟයක් පවතින බවත් ඒ සඳහා රජය විසින් ගන්නා ක්‍රියාමාර්ග කුමක්දැයි මාධ්‍යවේදීන් අද දින පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් විමසූ අවස්ථාවේදී මේ බව පැවැසීය.
“ආහාර හිඟයක් රට තුළ ඇතිවන්නට කිසිසේත්ම රජය ඉඩ තබන්නේ නැහැ. ලෝක වෙළෙඳපොළේ මිල ගණන් ඉහළයාම නිසා ඇතැම් වෙළෙන්දන් තමන් සතුව පවතින තොග වෙළෙඳපොළට නිකුත් කිරීම සීමා කර තිබෙනවා. ඒ වගේම ලෝක වෙළෙඳපොළේ මිළ ඉහළ යාම් නිසා ඇතිවන තත්ත්වයන් පාලනය කළ නොහැකියි. සීනි, ගෑස්, කිරිපිටි වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් සම්බන්ධයෙන් මෙම තත්ත්වය පවතිනවා.
එසේ වුවත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම ගැටළු සම්බන්ධව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා සමග සාකච්ඡා කළා. එහිදී එතුමා අපිට ප්‍රකාශ කළා. දැනට අපේ වරායේ ආහාර තොග සහිත බහාළුම් විශාල ප්‍රමාණයක් ගබඩා තුළ තිබෙන බැවින් ඒවායේ අඩංගු ආහාර ද්‍රව්‍ය තොග වහාම වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව.
එමෙන්ම ලෝක වෙළෙඳපොළේ සීනි හා කිරිපිටි මිල ඉහළ ගොස් තිබෙනවා. රජය කිරිපිටි නිසා ලද විශාල ආදායම අහිමි කරගනිමින් එම සහනය මහජනතාවට ලබා දීමට පියවර ගත්තා. ඒ අනුව කිරිපිටි මත පනවා තිබු විශාල බද්ද අඩු කරනු ලැබුවා. නමුත් එම කිරිපිටි ගෙන්වන සමාගම් තවමත් ඔවුන්ට පාඩු සිදුවෙන බව පවසනවා. කෙසේ නමුත් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය තුමා අපි සමග පැවැති සාකච්ඡාවේදී ප්‍රකාශ කළා ඒ සඳහා අවශ්‍ය විදේශ විනිමය භාණ්ඩාගාරය මගින් ලබා දීමට පියවර ගන්නා .
එමනිසා බොහෝ විට ලබන සතිය වනවිට ඇතැම් ආහාර ද්‍රව්‍යවල මෙන්ම ගෑස් සම්බන්ධ ප්‍රශ්නයද අවසන් වන බව අපිට විශ්වාසයි. මේවනවිට ගෑස් සහිත නැව් අප රටට ලඟවෙමින් තිබෙන බව එම සාකච්ඡාවේදී අවධාරණය වුනා.
රජය වශයෙන් අපිට ගැටළු සහගත තත්ත්වයන් මැද වුනත් ජනතාවට අවශ්‍ය දේවල් හිඟයකින් තොරව ලබා දෙන්නට අපි පියවර ගන්නවා”
යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය