කොවිඩ්-19 වෛරසයේ සම්භවය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව ගැන තම සගයන් මෙන්ම තමාද ආඩම්බර වන බවත්, ඔවුන් සියලු දෙනාම මෙම වාර්තාව සමග සිටින බවත් මෙම අධ්‍යයනයට සම්බන්ධ වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාඥ පීටර් බෙන් එම්බරෙක් පැවසීය.
චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර විශේෂඥයන් හා චීනයේ විශේෂඥයන් එකතුව සිදුකළ අධ්‍යයනය අවසන් කරමින් නිකුත් කළ වාර්තාව සම්බන්ධ මාධ්‍ය හමුවකට ඊයේ (30දා) එක්වෙමින් ඔහු මෙසේ කියා සිටියේය.
"ඇත්ත වශයෙන්ම, අපගේ සත්කාරක රටෙන් (චීනයෙන්) මේ අධ්‍යයන කාර්ය වෙනුවෙන් අපට විශාල සහයෝගයක් ලැබුණා. අපගේ සාකච්ඡාවලදී, අපගේ කටයුතුවලදී ඇත්ත වශයෙන්ම ඔවුන් උනන්දුවක් දැක්වූවා. නමුත් අපගේ වාර්තාවේ තීරණාත්මක අංග ඉවත් කිරීමට අපට කිසි විටෙකත් ඔවුන් බලපෑමක් කළේ නැහැ." එම්බරෙක් පැවසීය.
"මෙම වාර්තාව අධ්‍යයන කණ්ඩායමේ සිටින සියලුම විද්‍යාඥයන්ට ඊට පිටුපසින් සිට සහයෝගය දැක්විය හැකි දෙයක්" ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම අධ්‍යයන වාර්තාව පෙන්වා දී තිබුණේ කොවිඩ්-19 වෛරසය බොහෝවිට වවුලන්ගෙන් වෙනත් සතුන්ට සම්ප්‍රේෂණය වී ඒ හරහා මිනිසුන්ට වෛරසය ඇතුළු වන්නට ඇති බවය. එමෙන්ම වෛරසය විද්‍යාගාරයකින් පැමිණි එකක් බවට වූ තර්කය මෙම අධ්‍යයනය විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.