කොවිඩ්-19 හමුවේ බිඳ වැටුණු ආයතන සහ ව්‍යාපාර නැවත ගොඩනැංවීමට අලුත් ආයෝජන ඒ වෙත යොමුකළ යුතු බවත්, ඒ සඳහා උපක්‍රමයක් ලෙස අලුතින් කොවිඩ්-19 ප්‍රාග්ධන අරමුදලක් ඇති කිරීම යෝජනා කරන බවත් හිටපු මහ බැංකු අධිපති / වත්මන් අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
කොවිඩ්-19 වෛරස වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩනැංවීමේ ක්‍රමවේද පැහැදිලි කරමින් ඒ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර සිටියි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා,
"අද අපි දකිනවා කොවිඩ්-19 අර්බුදයත් එක්ක අපේ රටේ ආයතනවලට, සෑහෙන ලොකු අභියෝගයක් මතුවෙලා තියෙනවා. ඒ අභියෝගය තමයි, පසුගිය කාලයේදී ඒ ආයතනවලට තිබුණු අලාභය, තවදුරටත් දිගින් දිගටම සිදුවෙන්න පුළුවන් කියලා දැන් අවදානමක් තියෙනවා. ඒත් එක්කම, ඉදිරියේදී තියෙන දුෂ්කරතා ගැන අපට තවම අවිනිශ්චිතයි. ඒ වගේම දැඩි ද්‍රවශීලතා ප්‍රශ්න මතුවෙන්නට පුළුවන්. දිනපතා මුහුණ දෙන්නට සිදුවන අවදානම් වර්ධනය විය හැකියි.
මේ තත්ත්වය නිසා රැකියා අහිමිවීමේ අවදානමක් පැන නගිනවා. ආර්ථිකය සංකෝචනය වෙන්නට පුළුවන්. දැඩි සමාජීය අර්බුද මතුවෙන්නට පුළුවන්. බැංකු සහ මූල්‍ය ආයතනවලට තියෙන ද්‍රවශීලතාව සෑහෙන දුරකට අඩුවෙන්න පුළුවන්. ණය ගෙවීම් පැහැර හැරීමේ තත්ත්වයක් මතුවෙන්නට පුළුවන්. අස්ථාවර සාර්ව ආර්ථික සාධක රටට, අපට විඳින්නට සිදුවෙන්න පුළුවන්.
මේ තත්ත්වයෙන් ගොඩ එන්නට නම් ඉතාම ඉක්මණින් අපේ රටේ තියෙන ආයතන, අපේ රටේ තියෙන ව්‍යාපාර ඉක්මනින්ම ගොඩනංවා ගන්නට අපට සිදුවෙනවා. ඒ වගේම බැංකුවල ණය පියවෙන විදියට, මූල්‍ය ආයතනවල ද්‍රවශීලතාව වැඩිකර ගැනීමට අවශ්‍යයයි. මූල්‍ය පද්ධතියට නව ජවයක් සහ ප්‍රාග්ධනයක් එකතු කරන්නට අවශ්‍යයයි. එතකොට තමයි, අවිනිශ්චිතභාවය සෑහෙන දුරකට අඩුවෙන්නට අපට ක්‍රියාකරන්න පුළුවන් වෙන්නෙ.
එහෙම නම් අපි හිතන්නට ඕනෙ ණය උගුලකින් ගැලවෙන්නට, අලුතින් තවත් ණය අරගෙන ඒ තත්ත්වය මඟහරවා ගන්නට බැහැ. ඒ තත්ත්වය මඟහරවා ගන්නට නම් අලුතින් ප්රාග්ධනය අපේ රටේ ආයෝජනවලට, අපේ රටේ ව්‍යාපාරවලට එකතු කරන්නට අප කටයුතු කරන්නට අවශ්‍යයයි.
ඒ නිසා තමයි, අපි උපක්‍රමයක් හැටියට යෝජනා කරන්නෙ, අලුතින් කොවිඩ්-19 ප්‍රාග්ධන අරමුදලක්. එනම් අපේ රටේ ව්‍යාපාරවලට නැවත ප්රාග්ධනය ලබාදිය හැකි අරමුදලක් අප ඇති කළ යුතුයි. ඒ අරමුදල රු.බිලියන 150කට පමණ අගයකට අපට තහවුරු කර ගැනීමට වෙනවා. ඒ කියන්නෙ ඇමෙරිකානු ඩොලර් මිලියන 750ක් පමණ. ඒක බැංකු සහ රජය විදේශීය ආයෝජකයන් සමග කතා කරල, අපේ රටට ගලා ඒමට කටයුතු සැලැස්විය යුතුයි.
ඒ වගේම මම හිතන්නෙ අපි ඉතාම ඉකිමනින් මේ අර්බුදයෙන් ගැලවෙන්නට නම්, මේ අර්බුදය කළමනාකරණය කිරීම සඳහා හොඳ දක්ෂ කණ්ඩායමක් සහ ඒ සඳහා යම් පලපුරුද්දක් ඇති අධ්යක්ෂවරු පත්කළ යුතුයි. විවිධ අරබුදකාරී තත්ත්වයන්ට භාජනය වී තිබෙන ආයතනවලට, ව්‍යාපාරවලට ප්‍රාග්ධනයක් ලබාදීමට කටයුතු කිරීම එම අරමුදලේ ක්රියාකාරීත්වයයි. එතනදි මෙම අරමුදල හරහා විවිධ ආයතන හා ව්‍යාපාර විසින් බැංකුවලට ගෙවිය යුතු මුදලින් 25%කට නොවැඩි මුදලක් පියවීම සිදුවෙනවා. ඒ සඳහා එම ව්‍යාපාරවල කොටස් නිසි තක්සේරුවකට යටත්ව අරමුදල වෙත පිරි නැමීම සිදුකළ හැකියි. මේ හරහා එකී ව්‍යාපාරවලට තමන්ගේ ණය ගෙවීමට අවකාශය සැලසෙනවා. එතකොට වෙන්නෙ ඒ ආයතන ශක්තිමත් වෙනවා. බැංකුවලට ඒ මුදල් ලැබෙන නිසා බැංකු පද්ධතියත් ශක්තිමත් වෙනවා. යම් ස්ථාවරභාවයක් මේ ආයතනවලට සහ බැංකුවලටත් ලැබෙනවා.
ඉතිං මේ නිසා අවුරුදු තුන හතරකට පස්සේ, සමහර විට අවුරුදු පහකට පස්සේ ඒ ආයතනවලින් ගත්ත කොටස් නැවත වරක් විකිණීමට (පෙර තීරණය කරගත් ආකාරයකට) ඒ අරමුදලට හැකිවෙනවා. කොටස් වෙළෙඳ පොළේ ඒ කොටස් විකිණීමට පුළුවන්. එතකොට මේ අරමුදලටත් නැවත ඒ ව්‍යාපාරවලින් ඉවත්ව යෑමටත් අවකාශයක් ලැබෙනවා. මෙවැනි ආකාරයක ක්‍රමවේදයක් අප නිර්මාණය කළා නම්, අපට නැවත වරක් රටේ ස්ථාවරත්වයත්, ආර්ථිකයේ ස්ථාවරත්වයත්, මේ ආයතනවල ස්ථාවරත්වයත්, අපට නැවත වරක් ලබාගන්නට පුළුවන් වෙනවා." යැයි පවසා සිටියේය.