Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
ශ්‍රී ලංකා මහ බැංකුවේ 12 වැනි අධිපතිවරයා ඔහුය. වර්ෂ 2006 සිට 2015 දක්වා කාලය තුළ අධිපති ධුරය හෙබවූ ඔහු, වෘත්තියෙන් වරලත් ගණකාධිකාරීවරයෙකි. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හා දකුණු ආසියානු ගණකාධිකාරීවරුන්ගේ සම්මේලනයේ හිටපු සභාපතිවරයකුද වන ඔහු, ආයතනික පාලනය පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උපදේශකවරයකු ලෙසද කීර්තියක් දිනා සිටින අජිත් නිවාඩ් කබ්රාල් මහතාය.
ශ්‍රී ලංකා ආර්ථිකයේ වඩාත් තීරණාත්මක අවධීන්හි මහ බැංකුවේ අධිපති ධුරය හොබවමින් ශ්‍රී ලංකා ආර්ථිකය සහ රට දැය සමය වෙනුවෙන් ඒ මහතා කළ දැවැන්ත මෙහෙවර අගයනු වස්, ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකාය විසින් දේශ කීර්ති ලංකා පුත්‍ර ගෞරව නාමය ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත ප්රදානය කෙරෙන බව අපට දැනගන්නට ලැබුණි.
ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ අති පූජ්‍ය මහා නායක හිමිපාණන් වහන්සේ වරක් ප්‍රධාන දහසක් වූ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන්, අද දින (23දා) අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහ සෑ රදුන් අභියසදී සිදුවන මෙම ගෞරව සම්මාන ප්රදානය පැවැත්වෙන අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වීමට නියමිතය. ශ්‍රී ලාංකේය ආර්ථිකයේ ගමන්මග පිළිබඳ දළ හෝ අවබෝධයක් ඇති ඕනෑම ලොකු කුඩා අයෙකු නමින්ම හඳුනන, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා, 'අද ව්‍යාපාරික පිටුව' වෙත අප මෙසේ සම්බන්ධ කරගත්තේද මෙවැනි සුවිශේෂී කර්තව්‍යයක් සිදුවන අභිමුවෙහිය.
කවුද මේ අජිත් නිවාඩ් කබ්රාල්? ඔබ ඔබව හඳුනා ගන්නේ කෙසේද?
මම ඉතාම සරල කෙනෙක්. රටට ආදරෙයි. වැඩක් බාරගත්තාම ඒ වැඩේ සම්පූර්ණයෙන්ම ඉතා හොඳින් ඉටුකරනවා. බාගෙට යමක් ඉතුරු කරන්නේ නැහැ. ඕනෑම 'ටීම්' එකක් එක්ක වැඩ කරන්න ලෑස්තියි. ප්‍රශ්නවලට සෘජුවම මුහුණ දෙනවා. ඒවා විසඳනවා මිසක්, ඒවායින් පැනලා යන්නේ නෑ. ඒවා ඉදිරියේ අඬන්නේ නෑ. සෑමවිටම ප්‍රතිවාදීන් දිනාගෙන එකට ගමනක් යන්න උත්සාහ කරනවා. ඕනෑම අදාළ විෂයයක් ගැඹුරුව අධ්‍යයනය කරන්නත් මම සූදානම්.
ඔබේ පාසල් අවධිය හා පවුල් පසුබිම පිළිබඳව කෙටි හැඳින්වීමක් කළොත්?
මා ඉගෙන ගත්තේ මොරටුවේ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් සහ බම්බලපිටියේ ශාන්ත පීතර විද්‍යාලයෙන්. අවුරුදු පහළොවේදී මම අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වෙනවා. අවුරුදු විසි දෙකේදී වරලත් ගණකාධිකාරීවරයෙකු වශයෙන් පත්වීම් ලබනවා. මගේ පියා වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. මගේ සීයා මෙරට ප්‍රථම ශ්‍රී ලාංකේය තැපැල්පතිවරයායි. මගේ සහෝදර සහෝදරියන් සියලු දෙනාම වෘත්තිකයින්. මගේ බිරිඳත් වරලත් ගණකාධිකාරීවරියක්. මගේ පුතුන් දෙදෙනාගෙන් අයෙක් වරලත් ගණකාධිකාරීවරයෙක්. අනෙක් පුතා ඉංජිනේරුවරයෙක්. මගේ එක් ලේලියක් නීතිඥවරියක්. අනෙක් ලේලිය අපරාධ විද්‍යා විෂය ක්ෂේත්රයෙහි විශේෂඥ වෘත්තිකයෙක්. මට මාස හතක මුණුපුරෙක්ද සිටිනවා.
මහ බැංකු අධිපති ධුරය වැනි භාරධූර කර්තව්‍යයක් දැරීමට, ඔබට තිබූ පසුබිම කුමක්ද?
මුදල් නීති පනත සම්පාදනය කළ ජෝන් එක්ස්ටර් මහතා විසින් 1950දී මහ බැංකු අධිපතිවරයා පිළිබඳව විග්‍රහයක් කර තිබුණා. එහිදී, ඔහු කියා සිටියේ මහ බැංකු අධිපති රටේ ආර්ථිකයේ ප්‍රශ්න පිළිබඳව හොඳ දැනුමක් ඇති පුද්ගලයෙකු හා මූල්‍ය කටයුතු පිළිබඳ තාක්ෂණික දැනුමක්ද තිබිය යුතු පුද්ගලයෙකු විය යුතු බවයි. එම විග්රහයට අනුව සලකා බැලුවොත්, එක්ස්ටර් මහතා දක්වා ඇති සුදුසුකම් සම්පූර්ණයෙන්ම පාහේ මා සතුව තිබෙන බව ඉතා නිහතමානීව මා සඳහන් කරන්න කැමතියි. වරලත් ගණකාධිකාරීවරයෙකු වශයෙන් මූල්‍ය පාලනය පිළිබඳව මනා තාක්ෂණික දැනුමක් පමණක් නොවෙයි, රටේ ඉහළ පෙළේ පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ ව්‍යාපාරවල උසස් තනතුරු හොබවමින් පුළුල් අත්දැකීමක් ලබාගැනීමටද මට හැකිවුණා. ඒ වගේම, රටේ ආර්ථිකය පිළිබඳව දැඩිසැලකිල්ලෙන් මා දිගින් දිගටම සිටි බැවින්, අප ආර්ථිකය මුහුණදෙමින් සිටි ප්‍රශ්නවලට විසඳුම් සොයමින් ඒ විසඳුම් 'ලක් මවට මුතු පොටක්' යන ග්‍රන්ථය හරහා රටට ඉදිරිපත් කිරීමටත් මට හැකිවුණා. ඒ සමගම 'Towards a Sri Lankan Renaissance' නමින් ඉංග්‍රීසි භාෂාවෙන් ග්රන්ථයක් 2004 වනවිට මා එළිදක්වා තිබුණා. ඒ ආකාරයෙන් මා අවශ්‍ය පසුබිම සකස් කරගත්තා පමණක් නොවෙයි, අප රට සහ ආර්ථිකය ගැන දැඩි සැලකිල්ලෙන් සිටි නිසා රටේ ජනතාවගේ ආර්ථික ප්‍රශ්න හඳුනා ගැනීමටද මට පසුබිම සැකසී තිබුණා.
ඔබ අධිපති ධුරය දැරූ කාලය අභියෝග රැසක් පැවති කාලයක්, ඊට ඔබ සූදානමින් සිටියාද?
මා මුලින් කියූ ආකාරයට මම සෑම අභියෝගයක්ම භාරගැනීමට සූදානම් කෙනෙක්. අභියෝග කියන්නේ අපි නොසිතූ අවස්ථා සහ ප්‍රශ්න. ඒවාට පිළිතුරු සොයද්දී අලුත් විදිහට හිතන්න පුළුවන් වෙන්න ඕනෑ. එසේ නොවුණොත් ඒවාට සාර්ථකව උත්තර දෙන්න අපහසුයි. මම මහ බැංකු අධිපති වශයෙන් කටයුතු කළ කාලයේදී අපට මුහුණ දෙන්නට සිදුවූ ප්‍රශ්න බොහෝමයක් ඊට පෙර පැන නැගී තිබූ ප්‍රශ්න නොවෙයි. සමහර ප්‍රශ්න ලෝකයේ පළමු වැනි වතාවට පැන නැගුණු ඒවායි. ඒ සමගම, අප රටේ විසඳන්නට බැරි යැයි කියන ප්‍රශ්න බොහෝමයක්ද අපට තිබුණා. විශේෂයෙන්ම, උද්ධමනය, මුදල් සංසරණය, පොලී අනුපාත, රුපියලේ අගය යන ප්‍රශ්න මුල් බැහැලා තිබුණු ඒවායි. ඒවාට විසඳුම් නැතැයි යන මතයේත් සමහරු හිටියා. ඒවා සියල්ලටම සාර්ථකව මුහුණ දෙන්නට නම්, සෑම දෙනාගේම සිතුවිලි වෙනස් කිරීමටද අපට සිදුවුණා.
ලෝක ආර්ථික අර්බුද, යුද්ධය, රටේ වර්ධනය ආදී සියල්ල කළමනාකරණය කරගත්තේ කෙසේද?
අලුත් විදියට සිතීමෙන් සහ අවංකව, නිර්භීතව තීරණ ගැනීමෙන් අපට බොහෝ ප්‍රශ්න විසඳන්නට පුළුවන් වුණා. අප තීරණ ගනිද්දී අපක්ෂපාතීව සහ තාක්ෂණික ආකාරයට තීරණ ගන්නා බව මහ බැංකුවේ නිලධාරීන් දැනගත් විට, ඔවුන්ද ඒවාට සම්පූර්ණ සහාය සහ සහයෝගය දැක්වූවා. එයද මට මහත් ශක්තියක් වුණා. ඒ සමගම, අපි ඒ වැඩකටයුතු කරගෙන යද්දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපට සම්පූර්ණ ශක්තිය ලැබුණා. එතුමා අප කරගෙන යන දේ පිළිබඳව විශ්වාසයෙන් සිටියා. ඒ නිසා කිසිකෙනෙක් ඒ වැඩ කටයුතුවලට ඇඟිලි ගහන්න යොමුවුණේ නැහැ. ඒ විශ්වාසය තුළින් දැවැන්ත අභියෝගවලට මුහුණදෙමින්, ඒවා ජයගන්නට අපට හැකිවුණා. සමහර තැන්වලදී පෙර අරගෙන තිබූ තීරණ වෙනස් කිරීමටත් අපි භයවුණේ නැහැ. ඒ ආකාරයට යම් නම්යශීලීභාවයකුත් අපගේ තීරණ ගැනීමේ රාමුවට ඇතුළත් කරගත් නිසා බොහෝ ප්‍රශ්නවලට සාර්ථක විසඳුම් දෙන්නට අපට හැකිවුණා.
ඒ සියලු අභියෝග සාර්ථකව ජයගත් අප රට, අද සිටින තත්ත්වය ගැන ඔබට සෑහීමකට පත්විය හැකිද?
කනගාටුවෙන් වුවත් මට කියන්නට සිදුවන්නේ, එසේ සෑහීමකට පත්විය නොහැකි බවයි. 2015 දී අප නව රජයට ආර්ථිකය භාරදෙන විට, අපේ ආර්ථිකය තිබුණේ ඉතා ස්ථායී මට්ටමකයි. සියලුම සාර්ව ආර්ථික සාධක යහපත් මට්ටමක තිබුණා. එහෙත් වත්මන් අගමැතිවරයා අසත්‍ය තොරතුරු රටට සහ ලෝකයට පවසමින් සිදුකරගත්තේ බොහෝ දෙනෙකු තුළ අප ආර්ථිකය පිළිබඳව තිබූ විශ්වාසය පළුදු කර ගැනීමයි. එහෙයින් පාඩුව සිදුවුණේ රටට සහ ආර්ථිකයටයි. ඒ සමගම, බැඳුම්කර වංචාව නිසා තවදුරටත් රට සහ ආර්ථිකය කෙරෙහි තිබූ විශ්වාසය විනාශ වුණා. අද, අප රටේ ආර්ථිකය දැවැන්ත අර්බුදයක පවතිනවා. පොලී අනුපාත වැඩිවෙලා. රුපියල පිරිහිලා. ව්‍යාපාර කඩා වැටිලා. රැකියා අහිමි වෙලා. බොල් ණය වැඩි වෙලා. ආයෝජන නැවතිලා. මේ තත්ත්වය දකින කොට මට දැනෙන්නේ මහත් දුකක්.
වර්තමානයේදී අපේ ආර්ථිකයේ හා එය හසුරුවන්නන්ගේ ඔබ දකින ප්‍රධාන දුර්වලතා මොනවාද?
වර්තමානයේ ආර්ථිකය හසුරු වන අය බොරු කිව්වා වැඩියි. බොරු කියලා, ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගන්නට බැහැ. ආයෝජකයන් ඉතා සංවේදී අයයි. ඔවුන් බොහෝදෙනෙක් අද ශ්‍රී ලංකාව දෙස බලන්නේ මහත් සැකයකින්. ඒ සමගම අපේ වර්තමාන නායකයන් ගත් අනුවණ තීරණ නිසා අපගේ සාර්ව ආර්ථික සාධක මේ වනවිට දැඩි ලෙස විනාශ වෙලා. මේ තත්ත්වයෙන් ගොඩඑන්නට නම්, දැන් සිටින කට්ටිය අයින් කරන්නම වෙනවා. එසේ නොකර, කිසිවිටෙකත් මේ තත්ත්වයෙන් ගැලවෙන්නට බැහැ. ඒ වගේම, මේ පාලකයන්ගේ පය තිබෙන්නේ අහසේ. මහ පොළොවේ නොවෙයි. ඒ අයට ජනතාවගේ ප්‍රශ්න ගැන කිසිම අවබෝධයක් නැහැ. කැක්කුමක් නැහැ. ජනතාවගේ ප්‍රශ්න ගැන ඔවුන් සංවේදී නැහැ. මේ නායකයන් සහ පාලකයන් කොළඹ කිහිප දෙනෙකුගේ මතය විමසනවා හැරෙන්නට රටේ බහුතර මතය ගැන විමසිල්ලෙන් සිටින්නේ නැහැ. ඒ දුර්වලතාවයත් අද පවතින මේ විනාශකාරී තත්ත්වයට තුඩුදී තිබෙනවා.
ඒ අගාධයෙන් ගොඩඒමට ජනතාවට සහ දේශපාලනඥයන්ට ඔබ යෝජනා කරන්නේ කුමක්ද?
අපි වහාම ව්‍යාපාරික විශ්වාසය නැවත ගොඩනඟන්නට අවශ්‍යයයි. සියලුම ආර්ථික පාර්ශ්වයන්ගේ ව්‍යාපාර කරගෙන යෑමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරලා දෙන්නට අවශ්‍යයයි. පොලී අනුපාත අඩුකළ යුතුයි. රුපියල ස්ථාවර කළ යුතුයි. ව්‍යාපාර කිරීමට පහසු කළහොත්, ඒ ව්‍යාපාරිකයන් රැකියාවල් බිහිකරමින් රටේ සංවර්ධනයට දායකත්වයක් ලබාදේවි. එසේ නොවන්නට නම්, මේ රට අගාධයටම යනවා නොඅනුමානයි. එම තත්ත්වය ඇති කිරීමට නම් අප සියලුම ව්‍යාපාරිකයන්ට අද දෙන වධහිංසා නතර කළ යුතුයි. අනවශ්‍ය බදු බරෙන් ඔවුන් මුදවා ගත යුතුයි. ව්‍යාපාර කරගෙන යන අයට කරදර නොකර කටයුතු කරන්නට සහයෝගය දිය යුතුයි. ණය පහසුකම් වඩාත් ශීඝ්‍රයෙන් සහ පහසුවෙන් ලබාගැනීමට කටයුතු සම්පාදනය කළ යුතුයි. මේවා අප ඒ කාලයේදී කරගෙන ආවා. අද ඒ සියල්ල සම්පූර්ණයෙන්ම නැවතිලා. ඒ යන්ත්‍රය නැවත වරක් දිරිගන්වන්නට අවශ්‍යයයි.
ජනතාවට බරක් නොවී, ජනතාවට සිහින නොදී, ආර්ථිකය නංවන ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඔබ සතුද?
අපේ ආර්ථිකයට දැන් නව විශ්වාසයක් ගොඩනගන්නට අවශ්‍යයයි. ඒ සඳහා ව්‍යාපාරිකයන් දිරිමත් කළ යුතුයි. එසේ කිරීමට නම් ඔවුන් මත අද පටවා ඇති බදු බර අවම කළ යුතුයි. බොහෝ දෙනෙකුගේ ව්‍යාපාර වර්ධනය කරන්නට නම් ඔවුන් අද පෙළෙන ඒ බදු බර දුෂ්කරතාවයෙන් යම් මට්ටමකට හෝ ඔවුන් නිදහස් කළ යුතුයි. ඔවුන්ට අද සිදුවී තිබෙන්නේ ආදායමක් නැතුවත්, බදු ගෙවීමටයි. ඒ නිසා අද බොහෝ දෙනෙක් ව්‍යාපාරවලින් ඈත්වෙනවා. එවිට අලුතෙන් රැකියා බිහිවෙන්නේ නැහැ. කෙසේ වෙතත්, පොදු ජනතාවගේ හද ගැස්ම හඳුනන රජයක් යටතේ අප එසේ සිදුවන්නට ඉඩ තබන්නේ නැහැ. සියලු දෙනාට තමන්ගේ ව්‍යාපාර කරගෙන යමින් රජයට අවශ්‍ය වන බදු ලබාදීමට ශක්තිය වර්ධනය කරනවා. ඒ සඳහා විශ්වාසය ගොඩ නගනවා. මා හිතන්නේ වැඩිකලක් යන්නට මත්තෙන් හැමදෙනාම මේ ප්රතිපත්තිවල තිබෙන වටිනාකම දකින්නට පටන් ගනීවි. එවිට අපට නැවත වරක් යහපත් චක්‍රයකට අපේ ආර්ථිකය යොමුකරන්නට පුළුවන් වෙනවා. අවාසනාවකට මෙන් අද අපේ රටේ ආර්ථිකය පවතින්නේ අයහපත් චක්‍රයකයි. එයින් කෙසේ හෝ මිදී යහපත් චක්‍රයකට පිවිසුණු පසු අපට නැවත වරක් රට ගොඩනගන්නට හැකි වෙනවා.
ජිම් කට්ටලයකින් එහාගිය වත්මන් තාරුණ්‍යයේ බලාපොරොත්තු ආමන්ත්‍රණය කිරීමට ඔබ සූදානම්ද?
යුක්රේනයේ අගමැතිවරයා ලෙස වෘත්තියෙන් විහිළු සපයන්නෙකු තේරී පත්ව තිබෙනවා. අපේ අගමැතිවරයා ස්වභාවයෙන්ම විහිළු සපයන්නෙකු බව අද රටම අවබෝධ කරගෙන සිටිනවා. මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. රටේ ජනතාව ඉල්ලන්නේ ජිම් කට්ටල නොවෙයි. තරුණයන් ඉල්ලන්නේ රැකියාවන්, ජීවනෝපායන්, තමන්ගේ ජීවිත යහපත් ආකාරයට ගොඩනඟන්නට අවස්ථා. ඒ සඳහා නිසි අධ්‍යාපනය සහ ව්‍යාපාරික අවස්ථා. ඒවා නොදී, බොරු විහිළු සපයලා රටක් ගොඩගන්න බැහැ. මේ වගේ කතාවලට අපි සමහර විට හිනාවෙනවා. නමුත්, සැබවින්ම අප මේ ගැන හඬා වැටිය යුතුයි. ඒ අද අපේ රට මෙවැනි බොළඳ පාලනයක් යටතේ පවතින නිසයි. ඒ ගැන අප දුක්විය යුතුයි. නමුත්, මේ දුර්ධාන්ත පාලනයට දැන් ආයුෂ ඉතාම අඩුයි. නව රජයක් යටතේ අලුත් ක්ෂේත්රවලට පිවිසීමෙන්, අලුත් යටිතල පහසුකම් වර්ධනය කරමින්, රැකියා අවස්ථා දහස් ගණන් ඇති කරන්නට අවශ්‍යයි. ඒ සඳහා ආයෝජනය රටට ගලා එන්නට සුදුසු වාතාවරණයක් සකස් කරන්නට අවශ්‍යයි. අලුත් ආයෝජන ක්ෂේත්‍ර අප තෝරාගත යුතුයි. ඒවා හඳුන්වා දිය යුතුයි. විශේෂයෙන්ම, ඛනිජ, තාක්ෂණික, නව යටිතල පහසුකම් දියුණුව, බැංකු සහ රක්ෂණය වැනි ක්ෂේත්‍ර හඳුන්වා දෙන්නට අවශ්‍යයි. සංචාරක ක්ෂේත්රය මොවුන් විසින් ඇද දැමූ අගාධයෙන් ගොඩගෙන, එය තවත් වර්ධනය කරන්නට අවශ්‍යයි. ඒවා තුළින් අවම වශයෙන් අලුත් ජීවනෝපායන් අවස්ථා හාර ලක්ෂයක්වත් වසරකට ඇතිවෙන ආකාරයට ආයෝජන දිරිමත් කරන්නට අවශ්‍යයි. ඉදිරි අනාගතයේදී ඒවා අපි නොකළහොත්, මේ රටේ සාමය සහ සමගිය මෙන්ම, සෞභාග්‍යය තහවුරු කරන්නට අප අසමත් වේවි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd