වඩු කාර්මිකයකු ලෙස පෙනී සිටිමින් දිවා කාලයේදී පොලිස් බල ප්‍රදේශ තුනක නිවාස ගණනාවකින් රන් අභාරණ , මුදල් සහ විවිධ භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු යක්කල පොලීසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.
මොහු පානදුර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි දෙදරු පියෙකු වන අතර වඩුවැඩ කිරීම පිණිස යන බව පවසා නිවසින් පිටව ගොස් පිටත ප්‍රදේශයන්හි අතුරු මාර්ගවල ඇවිද යමින් දිවා කාලයේ කිසිවෙකුත් නොමැති නිවාස පිළිබඳ විපරම් කොට ඒවාට ඇතුලුවී සොරකම් කිරීම් සිදු කොට ඇති බව අනාවරණය වීයැයි පොලීසිය පවසයි.
පොලීසියට ලැබී ඇති තොරතුරක් මත යක්කල , මුදුන්ගොඩ ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී වීරගුල , මීගහවත්ත සහ යක්කල යන පොලිස් බල ප්‍රදේශයන්හි සිදු කළ සොරකම් සම්බන්ධයෙන් අනාවරණය වී ඇති අතර නිවාස දහයකින් සොරාගත් රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා රන් ආභරණ , මුදල් , රූපවාහිනී යන්ත්‍ර , ඩ්‍රිල් යන්ත්‍ර ,පිත්තල පහන්, ජංගම දුරකථන, පිත්තල සරනේරු සහ ජල මෝටර් සොයා ගැනීමට පොලීසිය සමත්ව ඇත.
මොහු දැඩි ලෙස හෙරොයින් භාවිතයට යොමුව ඇති බවත් ඒ සදහා දිනකට අවශ්‍ය රුපියල් 4000 ක පමණ මුදලක් සොයා ගැනීම පිණිස කලෙක පටන් සොරකමෙහි යෙදී ඇති බවත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී පොලීසිය අනාවරණය කරගෙන ඇත.
සැකකරු විසින් සොරා ගෙන තිබූ රන් ආභරණ ඇතුළු භාණ්ඩ මොරටුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට අලෙවි කොට තිබී සොයා ගැනීමට හැකි වු බව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක කේ.ජී.එස්.ප්‍රියන්ත මහතා පැවසීය.