ව්‍යාජ ඉතාලි ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් , ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණෙන බව සඳහන් කරමින් , ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ , ජාතිකත්වය හදුනා ගැනීමට නොහැකි වූ 18 හැවිරිදි විදේශීය තරුණයෙකු කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ (24) දින සවස පියවර ගෙන තිබේ.
ඔහු තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට පැමිණි තුර්කි ගුවන් සේවයට අයත් ටී.කේ.- 730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ශ්‍රී ලංකාවට ඇතුළුවීමේ දී මොහු ලබා ගෙන තිබූ වීසා බලපත්‍රය සහ ඔහු විසින් අනිවාර්යයෙන්ම ගුවන් තොටුපළේ දී සම්පූර්ණ කළ යුතු ගොඩ බැසීමේ අවසර පත්‍රය පරීක්ෂා කළ ආගමන විගමන නිලධාරීවරයාට , මෙම තරුණයා මෙරට සංචාරය කරන ප්‍රදේශ සහ එහිදී ඔහු නවාතැන් ගන්නා හෝටල් පිළිබඳව කිසිදු සටහනක් නොවීම මත සැකයක් ඇති වී මොහු පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .
එහිදී මෙම තරුණයාට ඉංග්‍රීසි බසින් පැහැදිලිව ඒවාට පිළිතුරු දීමට නොහැකි වී ඇති අතර , කෙටි වචන පමණක් යොදා ගෙන , කැඩුණු ඉංග්‍රීසි භාෂාවෙන් පිළිතුරු දීමට උත්සාහ ගෙන තිබේ .
ඒ වනවිට ගුවන් තොටුපළ සේවයෙහි නියැලී සිටි ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා ඉතාලි බස හොඳින් හැසිරවීමට හැකි , එරට පිළිබඳව ද මනා වැටහීමක් ඇති අයෙකු වූ අතර , ඔහු මෙම තරුණයාගෙන් ඉතාලි භාෂාවෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කළ ද , මෙම තරුණයාට ඒ කිසිවකටත් කිසිදු පිළිතුරක් ලබා දීමට අපොහොසත් වූයේ , ඔහු ඉතාලි බස කිසිසේත්ම නොදත් නිසාය .
එහිදී වැඩිදුරටත් ඉතාලියේ වැදගත් , සුප්‍රසිද්ධ ස්ථාන සහ ඔහු උපන් බව සඳහන් ස්ථානය පිළිබඳව ද තොරතුරු විමසූවද , ඒ කිසිවක් සදහා ඔහුට පිළිතුරු දීමට නොහැකි වූ අතර ,ඔහු ඒ සියල්ලටම ලබා දුන් එකම පිළිතුර වූයේ , කැඩුණු ඉංග්‍රීසි භාෂාවෙන් තමන් ඉතාලි ජාතිකයෙකු බව පැවසීම පමණි .
මේ අතර ඉතාලියේ තමන් ඉගෙන ගන්නා පාසැලක් මගින් නිකුත් කළ ලියවිල්ලක් ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් වෙත ඉදිරිපත් කළ ද , එහි සඳහන් කිසිවක් පිළිබඳව ද පැහැදිලි කිරීමට ඔහු අපොහොසත් විය .
එමෙන්ම ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රයේ සඳහන් ඔහුගේ යැයි සඳහන් නම පවා කියවා ගැනීමට ඔහු අසමත් වූ අතර , ඔහුට ආපසු ශ්‍රී ලංකාවෙන් පිට වී යෑම සදහා ගුවන් ටිකට් පතක් නොවීමත් , ඔහු ශ්‍රී ලංකාව තුළ නවාතැන් ගැනීමට අදහස් කරන ස්ථාන සහ ඔහු සංචාරය කිරීමට අපේක්ෂා කරන ප්‍රදේශ පිළිබඳව ද කිසිදු තොරතුරක් සඳහන් නොවීම මත , මොහු ශ්‍රී ලංකාවට ඇතුළු කර ගැනීමට නුසුදුසු පුද්ගලයෙකු බව 1948 අංක 20 දරන ආගමික සහ විගාමික පනතේ 3 වන කොටසේ 11 වන පරිච්ඡේදයේ 1- ආ වගන්තිය යටතේ තහවුරු වී ඇති නිසා මොහුව ආපසු ඔහු පැමිණි ගුවන් යානයෙන්ම , ඔහු පැමිණි ගුවන් තොටුපළ වෙත පිටුවහල් කිරීමට තීරණය විය .
ඒ අනුව තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 731 දරන ගුවන් යානයෙන් ඊයේ දින සවස 4.30 ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර වෙත පිටුවහල් කිරීමට පියවර ගෙන තිබුණි .
මෙම තරුණයාගේ සමේ පැහැයත් , මුහුණේ ස්වභාවයත් අනුව මොහු මොරොක්කෝ ජාතිකයෙකු හෝ නැතිනම් ඉරාන ජාතිකයෙකු විය හැකි බවට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු සැක පළ කරති .