ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලද තොරතුරකට අනුව එම අධිකාරියේ නිලධාරීන් සහ ගම්පහ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් විසින් කැලණිය දුම්රිය පොළ පාරේ පවත්වාගෙන ගිය මහා පරිමාණයේ ව්‍යාජ ඖෂධ නිෂ්පාදනාගාරයක් අද (9) වටලනු ලැබීය.
කල් ඉකුත්වු කායවර්ධන කිරිපිටි වර්ගයක ඇසුරුම් ලේබල යොදා වෙළඳ පොළට නිකුත් කරනු ලබන බවට ලද තොරතුරක් මත අදාළ ස්ථානය පරීක්ෂාවට ලක් කිරීමේදී මෙලෙස ඖෂධ නිෂ්පාදනය කරන බවද සොයා ගැනීමට හැකිවිය.
සිවු මහල් ගොඩනැගිල්ලක මෙම දිගු කාලයක් පුරා මෙම ජාවාරම සිදු කරමින් ව්‍යාජ හා ප්‍රමිතියෙන් තොර මෙන්ම කල් ඉකුත්වූ මෙම ඖෂධ යළි ඇසුරුම් කොට දිවයින පුරා බෙදාහැර ඇති බවට මෙහෙයුම සිදුකළ නිලධාරීහු සැක කරති.
මෙම නිෂ්පාදනාගාරයේදී ට්‍රැමඩෝල් නමැති වේදනා නාශක ඖෂධ වර්ගය ඇතුළු ප්‍රතිජීවක ඖෂධ , ශක්ති ජනක ආහාරමය පිටි වර්ග සහ විටමින් වර්ග සහිත ඖෂධ වර්ග 10 ක් පමණ මෙහිදී නිෂ්පාදනය කොට ඇති බව අනාවරණයවු අතර මෙම ඖෂධ අතුරින් ඇතැම් ඒවා ඉන්දියාවේ නිෂ්පාදනය කොට ඇති බවට ලේබල් යොදා තිබු ආකාරයද නිලධාරීන්ට දැකගත හැකි විය.
මෙම නිෂ්පාදනාගාරයේ හිමි කරුගෙන් ප්‍රශ්න කිරීමේදී මොහුට ඖෂධ වර්ග කිහිපයක් නිෂ්පාදනය කිරීම පිණිස 2013 වසර දක්වා බලපත් ලබාදී තිබී ඇතත් එය අහෝසිවු පසුවද මෙලෙස ව්‍යාජ අන්දමින් නිෂ්පාදනය කොට ඇති බව අනාවරණය වියැයි නිෂ්පාදනාගාරය වැටලීම සිදුකළ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා මහතා පැවසීය.
කල් ඉකුත්වූ ඖෂධ යළි සකස් කොට වෙළඳ පොළට යැවීම මෙන්ම නිසි ප්‍රමිතියෙන් තොර ඖෂධ වර්ග පාරිභෝගිකයින් අතරට යැවීමට සැලැස්වීම දැඩි හානිකර තත්ත්වයක් බවද හෙතෙම සඳහන් කළේය.
රුපියල් කෝටි ගණනක් වටිනා ඖෂධ සහ විටමින් වර්ග මෙහි තිබු අතර නිසි වටිනාකම අද සවස වන තුරුත් ගණනය කොට නොතිබිණි.
මෙම නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය පුද්ගලයා කොළඹට නුදුරු ප්‍රදේශයක පදිංචි ඉංජිනේරු වරයෙකු බව අනාවරණය වී තිබිණි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා සහ එහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මෙම වැටලීම සදහා ආහාර හා ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා මහතා ඇතුළු ගම්පහ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක වරුන් වන නීතිඥ වික්‍රමසේකර බණ්ඩාර, ඒ.ජේ.එම්.නියාස්, ඩී.එම්.කරුණාරත්න. කොළඹ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක වරුන්වන සී.එස්.ගුරුසිංහ සහ අජිත් රෝහණ යන මහත්වරුන් එක්ව සිටියහ.
අදාළ නිෂ්පාදනාගාරය සහිත සිවු මහල් ගොඩනැගිල්ලට මුද්‍රා තැබීමට නිලධාරීන් විසින් පියවර ගනු ලැබූ අතර අත්අඩංගුවට ගන්නා ලද නිෂ්පාදනාගාරය හිමිකරු බැදුම්කර ඇපකරයක් මත මුදා හළ අතර නියම කරනු ලබන දිනකදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ගම්පහ - තිලකරත්න දිසානායක