මෙවැනි අවස්ථාවක විපක්ෂයේ සැබෑ අවශ්‍යතාවය වනුයේ රජය කොරෝනා වෛරසය මර්දනය කිරීමට අරගෙන යන වැඩ පිළිවෙලට සහයෝගය දැක්වීම හෝ එහි පාර්ශ්වකරුවන් බවට පත්වීම බවත්, එහෙත් කොරෝනා වෛරසය මැඩලීමට සහාය දීම කෙසේ වෙතත් විපක්ෂ මැතිවරණයක් පැවැත්වීම මර්දනය කිරීමට වැඩ කටයුතු කරගෙන යන බව, හිටපු අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (22දා) අනුරාධපුර පිහිටි ඒ මහතාගේ නිවසේදී පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
“මේ වන විට ස්වාධීන මැතිවරණ කොමිසම විසින් අප්‍රේල් 25 පැවැත්වීමට තිබුණු මැතිවරණය ජුනි 20 දිනට කල් දාලා දින නියම කර ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ හා අනෙකුත් බලධාරීන් සමඟ සාකච්ඡා කරලා තමයි, මෙසේ දින නියම කරල තිබෙන්නේ.
අපිට පේන්න තිබෙන එක කාරණාවක් තමයි විරුද්ධ පක්ෂය නියෝජනය කරන කණ්ඩායම මැතිවරණ කොමිසමට බලපෑම් කරද්දී, ඔවුන් නියෝජනය කරන, මැතිවරණ කොමිසමේ ඉන්න මහාචාර්ය හූල් මැතිතුමා මෙම මැතිවරණය නොපැවැත්වීමට හා මෙම මැතිවරණය පිළිබඳව රටේ ජනතාව තුළ දෙගිඩියාවක් නිර්මාණය කරන්න කටයුතු කරන බව.
විපක්ෂය මේ වෙලාවේ කළ යුත්තේ මැතිවරණ කොමිසමේ ඇතැම් නිලධාරීන් හරහා මැතිවරණ කොමිසමට බලපෑම් කිරීම නොවේ, රජයේ සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, ඇතුළු රාජ්‍ය නිලධාරීන් එක්වෙලා මේ වසංගතය රටින් තුරන් කිරීමට ගෙන යන වැඩ පිළිවෙළට සහයෝගය ලබා දීමයි. මෙය බංකොලොත් වෙච්ච, පරාජය වෙච්ච දේශපාලනඥයන්ගේ ක්‍රියාකාරකම් විදියට තමයි අපි දකින්නේ.
සුනාමි ව්‍යසනය, ලෝක තෙල් අර්බුදය, ආහාර අර්බුදය, හා අපේ රටේ පැවති අවාසනාවන්ත යුද තත්ත්වය වැනි සෑම අර්බුදකාරී අවස්ථාවකදීත්, අද ඇතිවී තිබෙන තත්ත්වය තුළදීත්, මෙම කණ්ඩායම සෘණාත්මකව හිතන මෙවැනිම තත්ත්වයකින් තමයි එදත් කටයුතු කළේ. ජනාධිපති අගමැති සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ ඉතාමත් ක්‍රමවත්ම මේ වැඩපිළිවෙල කරගෙන යන විට විපක්ෂයේ විතරක් එතනින් විතැන් වෙලා, ඔවුන්ගේ පරාජය බේර ගන්න විවිධ උපක්‍රම යොදමින් සිටිනවා”.
බි.ජි චතුරංග