පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට යහපාලන ආණ්ඩුව සමයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය දැරු මන්ත්‍රීවරයා පත්වනු ඇති බව එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ (31දා) පැවසීය.
සාමාන්‍ය සම්ප්‍රධාය අනුව ආණ්ඩුවක් මාරු වනවිට එම ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ධුරය දැරු මන්ත්‍රීවරයා ඊළඟ සැසිවාරයේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට පත්වන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
ඒ අනුව පසුගිය ආණ්ඩුව සමයේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය දැරූ ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට පත්කිරීමට නියමිතය.
එළඹෙන 03 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයේදී ආසන පැනවීමේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අසාධාරණයක් නොවනු ඇති බවත්, පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන වික්‍රමසිංහ මහතාට ඉදිරිපෙළ අසුනක් ලබාදීමේ ගැටලුවක් නොමැති බවත් මන්ත්‍රීවරයා පැවසීය.
ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා,
“ලබන 03 වැනිදා පාර්ලිමේන්තුව කැඳවූ පසු සවස 1.00ට විවාදය පැවැත්වෙනවා. රැස්වීම සාමාන්‍ය ක්‍රමය අනුව කැඳවලා සභාව අත්හිටුවලා නැවත සභාව ආරම්භ වෙනවා. රජයේ ප්‍රතිපත්ති සහ මහජනතාවගේ යහපත සඳහා තියෙන ලියකියවිලි සියල්ල ඉදිරිපත් කරන්න අවස්ථාව තිබෙනවා. ඕන නම් දිනපතා, ඕන නම් එළිවෙනකම් පාර්ලිමේන්තුව කැඳවලා ජනතාවගේ සුව පිණිස ගතයුතු තීරණ ගන්න පුළුවන්.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තෝරන්න අවශ්‍යතාවක් නැහැ. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සිටි කෙනා ස්වාභාවිකම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විදියට පත්වෙනවා. ඒකට අලුතෙන් කෙනෙක් පත්කර ගන්න අවශ්‍ය නැහැ.
පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමේ ක්‍රම කිහිපයක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ අනුව ආසන පිරිනැමීම ඉන් එක් ක්‍රමයක් වෙනවා. තව ක්‍රමයක් වන්නේ පක්ෂ නායකයන් හැටියට ආසන පිරිනමනවා. මෙම ක්‍රමවේදයන් අනුව හිටපු අග්‍රාමාත්‍යවරයාට අසාධාරණයක් සිදුවන එකක් නැහැ. විපක්ෂනායකවරයා පත්වූවාට පසුව රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපෙළ අසුනක් පිරිනැමේ බාධාවක් නැහැ. එතුමා දැනට පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා. ඒ නිසා ඔහුගේ අසුන පිළිබඳ ප්‍රශ්නයක් පැන නගින්නේ නෑ.
සමස්ත ජනතාව 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී සිහිබුද්ධියෙන්, කල්පනාවෙන් කටයුතු කළ යුතුයි. එසේ නොමැති වුණොත් සමස්ත ජාතියත්, සමස්ත රටත් අමාරුවේ වැටෙනවා* යනුවෙන් පවසා සිටියේය.