ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් විදේශ රටවල දැනට රැඳී සිටින ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩසටහනක් ආරම්භ කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
මෙම විගමණික ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණි පසු නිරෝදානය සඳහා රඳවා තැබීමට මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් නොමැති වීමය.
එම නිසා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල් වලින් පළාත් නවයේ නිරෝධායන මධ්‍යස්ථාන නවයක් ආරම්භ කර එම විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කඩිනමින් මෙරටට ගෙන්වා එම මධ්‍යස්ථානවල ස්ථානගත කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසයි.
covid-19 වැළැක්වීමේ ජාතික කාර්ය සාධක බලකාය සමඟ මේ පිළිබඳව සාකච්ඡා කොට එම මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ද වැඩිදුරටත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවට පැමිණීමට අදාළ ගුවන් ටිකට්පත් ලබා ගැනීමට නොහැකිව යම්කිසි විගමනික සේවකයෙක් හෝ සේවිකාවක් කිසියම් රටක සිටී නම් ඔවුන් වහාම එම රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට වාර්තා කරන ලෙසත්, එසේ නොමැති නම් විදේශ සබඳතා අංශයේ ගාස්තු රහිත දුරකථන අංකය වන 800119119 අමතා එම තොරතුරු ලබා දෙන ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් එම විගමනික ශ්‍රමිකයන්ගෙන් සහ ඔවුන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලා සිටියි.
එම ඉල්ලීම් විමර්ශනය කර බලා ඔවුන්ගේ කාර්යංශයේ ලියාපදිංචිය සහ අනන්‍යතාව තහවුරු කර නොපමාව ඔවුන්ට ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අමාත්‍යවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දන්වා සිටී.