මෙරට උපරිම දෛනික විදුලි ඉල්ලුම වන ගිගාවොට් පැය 42.4 ක විදුලි ඉල්ලුමක් පසුගිය 07 දා වාර්තා වූ බව විදුලි බල අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට මේ දිනවල බලපා ඇති උණුසුම් හා වර්ෂාපතනය අඩු වියළි කාලගුණික තත්වය තුළ විදුලි බල පද්ධතියේ දෛනික විදුලි අවශ්‍යතාව සැලකිය යුතු ලෙසින් ඉහළ යෑමක් සිදු ව ඇති බවත් එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
එසේම මෙම තත්ත්වය ඉදිරි කාලය තුළද පවතිනු ඇති බවත් පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජල විදුලි නිෂ්පාදනය සැලකිය යුතු ලෙසින් සීමාවීම හේතුවෙන් දෛනික විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ජල විදුලි බලාගාරවල දායකත්වය 20%ක් පමණ දක්වා අඩු වී ඇති බවත් අමාත්‍යාංශය පවසයි.
විදුලි පාරිභෝගිකයන්ට පැය 24 පුරාම අඛණ්ඩව විදුලි සේවාව ලබා දීම තහවුරු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ගනිමින් පවතින බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.
කෙසේ නමුත් ඉහල යන විදුලි ඉල්ලුම නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට විදුලි බලය භාවිතයේදී විදුලි නාස්තිය අවම කර ගැනීම සහ වඩා කාර්යක්ෂම ලෙස විදුලි පරිභෝජනය ඉතා වැදගත් බවත් අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මෙම තත්ත්වය තුළ විදුලි බලය කාර්යක්ෂමව හා අරපිරිමැස්මෙන් භාවිතා කිරීමෙන් මෙම අභියෝගය සඳහා සාර්ථකව මුහුණ දී අඛණ්ඩව විදුලි සම්පාදනය සිදු කිරීම සඳහා සමස්ත විදුලි පාරිභෝගිකයන්ගේ දායකත්වය අපේක්ෂා කරන බව අමාත්‍යාංශය සඳහන් කරයි.