වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට රජය වගකීමෙන් කටයුතු කරන බවත්, ඇතැම් වතු සමාගම් එක්සත් ජාතික පක්ෂය ඇතුළු දක්ෂිණාංශික බලවේග සමග එක්ව වැටුප් වැඩි කිරීමට විරුද්ධව රජයට බලපෑමක් එල්ල කරමින් සිටින බවත්, උතුරු මැද පළාතේ ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවැසීය.
තලවකැලේ, නගරයේ පැවැති ලංකා සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරීන් හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා ඊයේ (16) මෙසේ පැවසීය.
එහිදි තවදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරයා ,
“අපි රජයක් වශයෙන් ඉතාමත් වගකීමකින් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කොට තිබෙනවා. ලංකා සමසමාජ පක්ෂය ඇතුළු ආණ්ඩුවේ පක්ෂ එකතුවයි මෙම තීරණය ගත්තේ. රජයට දැන් තිබෙන්නේ එය ක්‍රියාත්මක කිරීමටයි. ඇතැම් වතු සමාගම් වතු පාඩු ලබන බව පවසනවා. එම වතුවල ඉහළ නිලධාරීන් වැටුප් සමග විශේෂ දීමනා විශාල වශයෙන් ලබා ගන්නවා. නමුත් දුප්පත් වතු කම්කරුවාට පඩියක් වැඩි කරන්නේ නැහැ.
ලංකා සමසමාජ පක්ෂය වශයෙන් අපි යොජනා කරලා තියෙනවා සහයෝගිතා සංකල්පය ක්‍රියාත්මක කොට පාඩුවට දුවන වතු සියල්ලම ලාභයක් ලබන වතු බවට පත් කරන්න පුළුවන් විදියක් . මේ ක්‍රමය දැන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ක්‍රියාත්මක කරලා තියෙනවා. එම වතු දැන් විශාල ලාභයක් ලබනවා. එය ලංකාවේද ක්‍රියාත්මක කරන්න කියලා අපි රජයට පවසනවා.
ජනතාවට එක්සත් ජාතික පක්ෂය එපා වෙලා තමයි පසුගිය ජනාධිපතිවරණයෙන් විශාල ජයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දුන්නේ. දේශිය සම්පත් විකුණා දමමින් අපේ රටේ වත්කම් පිටරටට විකුණා දමමින් සිදු කරන ලද පාලනයට විරුද්ධවයි ජනතාව නව රජයක් පත් කලේ. වසර පහක් ජනතාව දුක් විදලා සංවර්ධන වේගය සියයට දෙකකට බස්සලා රට විනාශය කරපු එක්සත් ජාතික පක්ෂය ජනතාවට එපා වෙලයි තියෙන්නේ. මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් බලා ගැනීම ටිකක් අමාරු දෙයක්. නමුත් විශාල ජයග්‍රහණයක් ආණ්ඩුවට ලබා ගන්න පුළුවන් යයි කීය.”
මස්කෙළිය - ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක