කේවල ඡන්ද ක්‍රමය යටතේ ජේ ආර් ජයවර්ධන මහතාට ලැබුණු හයෙන් පහක බලයට වඩා සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු තුනෙන් දෙකක බලය බලවත් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි. ලාල්කාන්ත මහතා කීය.
විස්ස කාගෙද කාටද යන මැයෙන් ඊයේ 30 වනදා සවස මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේදී පැවැති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව පැවසීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ,
අද පවතින මේ සියලු දේවල්වලට මුල 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. 1977 දී ජේ ආර්. ජයවර්ධන මහතාට හයෙන් පහක බලයක් ලැබෙනවා කේවල ඡන්ද ක්‍රමය යටතේ. මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතාට තුනෙන් දෙකක බලයක් ලැබිල තියෙනවා සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ. මේකෙන් වඩාත් බලවත් වන්නේ කොයි එකද? කේවල ක්‍රමය යටතේ හයෙන් පහද, සමානුපාතික ක්‍රමය යටතේ තුනෙන් දෙකද බලවත්.
ජේ ආර්.ජයවර්ධන මහතාට හයෙන් පහක බලයක් ලැබෙන්න කලින් පැවැති ආණ්ඩුව යටතේ රට පත් වෙලා තිබුණ තත්ත්වය ටිකක් බලන්න ඕන. 77 ට පෙර පැවැති සමගි පෙරමුණ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද ඒකට කිව්වේ සංවෘත ආර්ථික ප්‍රතිපත්තියක් කියලයි. අපි වවලයි අපි කන්නේ කියන සංකල්පයයි එදා තිබුණේ. ආර්ථිකය දේශීයයි. ඔහොම ගිහින් මොකද වුණේ. ඇත්තටම කියනවානම් දේශිය ආර්ථිකය කියන එකම වාමාංශික නෑ. අපි ලෝක පුරවැසියෝ. පැපොලුත් අපේ ඇපලුත් අපේ. තිරිගුත් අපේ හාලුත් අපේ. මිනිස් වර්ගයාගේ. අපි ලාංකික පුරවැසියෙක් වෙලා විතරක් මදි අපිට ලෝක පුරවැසියෙක්ගේ පංගුවකුත් තියෙනවා. අපි ලෝක වැසියෝ.ලෝක වැසියෝ කියන අයට අපි වවලයි අපි කන්නේ කියල එකක් තියෙනවද?